පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්

2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත ගුරුවරුන් ද 8803 දෙනකු අඩු වී ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව 2023 වසරේ රටේ පැවති සමස්ත රජයේ පාසල් ගණන 10,096ක් වන අතර එයින් ජාතික පාසල් 396ක් ද පළාත් සභා පාසල් 9700ක් ද වේ. මෙම වසරේ සමස්ත පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගණන 3,882,688කි. එයින් ජාතික පාසල් පද්ධතියේ සිසුන් 830,021 දෙනකු ද පළාත් පාසල් පද්ධතිය යටතේ සිසුන් 3,052,667ක් ද අධ්‍යාපනය ලබමින් සිට ඇත. ඒ අනුව 2023 වසර යටතේ සමස්ත පාසල් පද්ධතිය තුළ සිසුන් 1,923,591ක් ද සිසුවියන් 1,959,097ක් ද අධ්‍යාපනය ලබමින් සිට ඇත.

2023 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සිදු කර ඇති සංගණනයට අනුව සමස්ත රජයේ පාසල් පද්ධතියේ ගුරුවරුන් 237,789ක් සේවයේ නිරතව සිට ඇත. ඒ ගුරුවරු 56,570ක් සහ ගුරුවරියන් 181,217 ලෙසිනි.

2019 වසරේ සංගණන තොරතුරුවලට අනුව රජයේ සමස්ත පාසල් 10,165ක් සක්‍රීය මට්ටමේ තිබී ඇත. එම පාසල්වල සිසුන් 2,019,005ක් ද සිසුවියන් 2,042,648ක් ද වශයෙන් සමස්ත සිසුන් 4,061,653ක් අධ්‍යාපනය ලබමින් සිට ඇත. 2019 වසරේ ගුරුවරුන් 246,592ක් සේවයේ නිරතව සිට ඇත. ඒ අය අතර ගුරුවරියන්ගේ ගණන 184,125කි.

2022 වසරේ සංගණන වාර්තාවට අනුව මෙරට පාසල් පද්ධතියේ සක්‍රීය මට්ටමේ පාසල් 10,126ක් තිබී ඇත. ඒ අතර ජාතික පාසල් 396ක් ද පළාත් සභා පාසල් 9730ක් ද තිබී ඇත. මේ අනුව පෙනී යන්නේ ගෙවී ගිය පස් වසර තුළ වැසී ගිය පාසල් 96 අතරින් පාසල් 20ක්ම වැසී ගොස් ඇත්තේ 2022 වසර තුළදී වන අතර එසේ වැසී ගොස් ඇත්තේ ද පළාත් පාසල්ය.

2022 වසරේ සමස්ත පාසල් සිසුන් 3,969,597ක් මෙම රජයේ පාසල් තුළ අධ්‍යාපනය ලබා ඇති අතර 3,135,011ක් වූ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිට ඇත්තේ පළාත් පාසල් තුළය. මෙම වකවානුවේ ගුරුවරු 236, 731ක් රජයේ පාසල්වල සේවයේ නිරතව සිට ඇත.

2023 පාසල් සංගණන වාර්තාවට අනුව එම වසරේ මෙරට සක්‍රීය මට්ටමේ පැවති රජයේ පාසල් අතරින් පාසල් 1506ක සිසුන් සිටින්නේ 50කට අඩු ප්‍රමාණයකි. 51ත් 100ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටි පාසල් ගණන ඒ අතරින් 1638කි. එසේම සිසුන් 101ත් 200ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටි පාසල් ගණන 2128කි. එසේම 201ත් 500ත් අතර සිසුන් පිරිසක් ඉගෙන ගනිමින් සිටි පාසල් ගණන 2,638 දෙනෙකි. ඒ අනුව බලන කල 2023 වසරේ රටේ සක්‍රීය පැවති පාසල් 10,096න් පාසල් 7,910ක්ම ඇත්තේ 500 අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්ය.

ඒ හැරුණුකොට 2023 සංගණයට අනුව සිසුන් 4000ට අඩු පාසල් 33ක් හඳුනාගෙන ඇති අතර 3001 ත් 4000ත් අතර පාසල් 67 ක් තිබේ. සිසුන් 501ත් 1000ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 1,309ක් ද, සිසුන් 1001 ත් 1500ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 379 ක් ද, සිසුන් 1501ත් 2000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 200ක් සිසුන් 2001ත් 3000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 198ක් ද ඇතැයි එම සංගණනයේදී අනාවරණය වී ඇත.

Social Sharing
ආර්ථික නවතම පුවත්