මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!

North and East results in the general election

මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ නැගෙනහිර පළාත්වල බලය ජනවාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ කිහිපයක් වටා ඒකරාශී වී තිබිණි.

එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මීට පෙර බලය කේන්ද්‍රගතව තිබූ දේශපාලන පක්ෂ මත පැවති බලය යම් දුරකට අහිමිව ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යන කරුණකි.

එහි කේන්ද්‍රගත දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සතුව පැවති සාම්ප්‍රදායික දේශපාලන බලය ජාතික ජන බලවේගයෙන් තරග කළ නව අපේක්ෂකයින් පිරිසක් වෙත ලබාදීමට උතුර සහ නැගෙනහිර පළාත් බහුතර ජනතාව කටයුතු කර තිබේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 3ක බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 6න් ආසන 2ක් ද, ත්‍රිකුණාමලයේ මන්ත්‍රී ආසන 4න් ආසන 2ක බලය ද, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හා දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන 4ක් ද ජාතික ජන බලවේගයට හිමි ව තිබේ.

පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණයන්හි දී දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ වෙත උතුර සහ නැගෙනහිර පළාතේ බලය හිමිව තිබූ අතර, එම බලය මෙවර සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ.

මෙවර උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ම බලයත්, නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය සහ දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කවල බලයත් තමන් සතු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය පමණක් ජයග්‍රහණය කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත් විය.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ මෙවර වෙන් වෙන් ව මහ මැතිවරණයට තරග කළ අතර, මඩකලපුව හැරුණුවිට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය උතුරු නැගෙනහිර එක් එක් දිස්ත්‍රික්කයෙන් දිනා ඇත්තේ එක් ආසනය බැගින් ය.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටි පක්ෂ කිහිපයක් එක් ව පිහිටුවාගත් ප්‍රජාතන්ත්‍රවාදී දමිළ සන්ධානය දිනා ඇත්තේ එක් ආසනයක් වන අතර, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නියෝජනය කළ ඊපීඩීපී පක්ෂයට මෙවර කිසිඳු ආසනයක් හිමි ව නැත.

1994 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්ගේ යම් අඩුවක් පැවතිය ද උතුර සහ නැගෙනහිර පළාත ජන ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමත් වූවා ය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ සුළු අඩුවක් පැවතිය ද 1994 ජනාධිපතිවරණයේ දී උතුරේ සහ නැගෙනහිර පළාතේ බහුතර බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනාගැනීමට සමත් වූ නමුත්, 1999 ජනාධිපතිවරණයේ දී එම සහය හිමි වූයේ ඇගේ ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයටයි.

1999 දී උතුරේ සහ නැගෙනහිර ලක්ෂ හතරක ආසන්න ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය 2005 ජනාධිපතිවරණයේ දී එම පළාත්වල බහුතර බලයක් හිමි කරගත් නමුත් ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය අතිශය අඩු මට්ටමක පැවතියෙන්, මෙතෙක් ජයග්‍රාහකයා තීරණය කළ අවම ඡන්ද මට්ටම වන ඡන්ද 180,000කින් මහින්ද රාජපක්ෂ ජය ගත්තේ ය.

2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ විශාල උනන්දුවක් ඇතිව තිබූ අතර, ඒ දක්වා ඉතිහාසයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද දායකයන් ප්‍රතිශතයක් උතුරු පළාතේ ඡන්දය භාවිත කර තිබුණේ එම වසරේදීයි.

එවර යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 66.28%ක් ඡන්දය භාවිත කර තිබූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72.57%කි.

2019 දී ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ හට උතුරේ ඡන්ද දායකයන්ගේ බහුතර සහය නොලැබුණෙන් ‘ඔහු තමා සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු’ ලෙස හඳුන්වා ගත්තේ ය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී පැවති ජනාධිපතිවරණයේ දී මෙම තීරණාත්මක පළාත් දෙකෙහි ඡන්ද වැඩි කොටසක් දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස තරග කළ පී. අරියනේත්තිරන් හටත් සමගි ජන බලවේගයේ අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසටත් හිමිව තිබිණි.

කෙසේනමුත් මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නව දේශපාලන ප්‍රවාහයකට, පැරණි ජාතිකත්ව දේශපාලන අධිකාරීත්වය බිඳ දමා බලය ලබා දීමට උතුරු නැගෙනහිර ජනතාව තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට මෙවර සිය ආසන රැක ගැනීමට නොහැකි වී ඇති අතර, වසර ගණනාවක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ සෙල්වරාසා ගජේන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසට සිය මන්ත්‍රී ධූර අහිමි තිබේ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් දිලීපන්ට ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ආසනය අහිමිව ගොස් තිබිණ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ එම්.එස්. තවුෆික් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කපිල අතුකෝරළ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්ව ඇත.

එමෙන් ම, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය මැතිවරණ කොට්ඨාස මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් හා වන්නි මැතිවරණ කොට්ඨාස මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ගේ බලය ද ගිලිහී තිබේ.

BBC සිංහල සේවය ඇසුරිනි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග