පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක පත් විය. ඉන් දශක ගණනාවකට පසුව පැවැත්වුණු 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ ඉතිහාසය අලුත් කරමින් වාර්තා පිට වාර්තා බිහිකළ මැතිවරණයක් විය.

මෙවර මැතිවරණය දෙස බලන කළ එහි කාන්තා නියෝජනයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබිණි. මෙවර ආරම්භ කෙරෙන 10වැනි පාර්ලිමේන්තුව සඳහා, පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සිටින අතර එම සංඛ්‍යාව 22කි. ඉන් වැඩිම කාන්තා මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිකරගෙන නිබෙනුයේ ජාතික ජන බලවේගය පක්ෂයයි. එම ගණන 20කි. ඉන් 19දෙනෙකුම මහජන ඡන්දයෙන් තෝරා පත්කරගෙන තිබුණු අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හරහා අනෙක් මන්ත්‍රීවරියව පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගෙන තිබේ.

2024 මහ මැතිවරණය හරහා නව වාර්තා රැසක් එක් කරලීම සඳහා කාන්තා නියෝජිතවරියන්ද වැඩි දායකත්වයක් දක්වා ඇත. මේ වන විටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවන, ජාතික ජන බලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරඟකළ ආචාර්ය හරිණි අමරසූරිය ඡන්ද 655,289 ක් ලබාගෙන දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එය මහ මැතිවරණ ඉතිහාසයේ තනි පුද්ගලයෙකු විසින් ලබා ගත් වැඩිම මනාප අතුරින් දෙවන ස්ථානය වේ.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත්වූ කාන්තා මන්ත්‍රීවරියන් සහ ඔවුන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව

01. බදුල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සැමුවෙල් අම්බිගා – 58,201
02. මාතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සරෝජා පෝල්රාජ් – 148,379
03. මාතලේ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – දීප්ති වාසලගේ – 47,482
04. මාතලේ දිස්ත්‍රික්කය – සමගි ජන බලවේගය – රෝහිණී කවිරත්න – 27,845
05. ගාල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හසාරා නයන්තාර ප්‍රේමතිලක – 82,058
06. මහනුවර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ – 58,223
07. මහනුවර දිස්ත්‍රික්කය – සමගි ජන බලවේගය – චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල – 30,780
08. කළුතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – නිලන්ති කොට්ටහච්චි – 131,375
09. කළුතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ඔෂානි උමංගා – 69,232
10. මොනරාගල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – චතුරි ගංගානි – 42,930
11. පුත්තලම දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හිරුණි විජේසිංහ – 44,057
12. කෑගල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සාගරිකා අතාවුද – 59,019
13. රත්නපුර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – නිලූෂා ලක්මාලි – 48,791
14. කුරුණෑගල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – කුමාරි හේරත් – 84,414
15. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හරිනි අමරසූරිය – 655,289
16. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – කෞශල්‍යා ආරියරත්න – 80,814
17. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සමන්මලී ගුණසිංහ – 59,657
18. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – මුතුමැණිකේ රත්වත්තේ – 32,145
19. ගම්පහ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හේමාලි සුජීවා – 66,737 –
20. නුවරඑළිය දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – අනුෂ්කා තිලකරත්න – 34,035
21. නුවරඑළිය දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි – 33,346
22. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය – ජාතික ජන බලවේගය –

එමෙන්ම 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් කාන්තා නියෝජිතවරියන් 36 දෙනෙකු ඉදිරිපත් වූ අතර එය එක් දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වූ ලංකා ඉතිහාසයේ ඉහළ ම කාන්තා නියෝජනයද විය.

2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තාවන් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ගැන පළ කළ අදහස්:

රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුව ද කාන්තාවන් පිළිබඳ වැදගත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල කාන්තාවන් නියෝජනය නොවීම රටක් ලෙස ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්, තමන් කුමන පක්ෂයකට ඡන්දය භාවිත කළ ද එම අපේක්ෂක ලැයිස්තුවේ සිටින කාන්තාවක් වෙනුවෙන් එක් මනාපයක් පළ කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂය හරහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2024 නොවැම්බර් 07 වැනිදා BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී සඳහන් කළා ය.

“කාන්තා බහුතරයක් ජනගහනය තියෙන රටේ තීරණ ගන්නේ ඒ 52%ක අත හැරලා. ඒ අත හැරෙන කොටසේ තවමත් නොවිසඳුනු ප්‍රශ්න රාශියක් තියෙනවා. 34%යි තවමත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් විධිමත් රැකියාවල නිරතවෙලා ඉන්නේ. 66%ක් නිවසට වෙලා රැකබලාගැනීම් වගේ ගෘහණියන් විදිහට කාන්තාවන් පූර්ණකාලීනව වගකීම් ඉෂ්ට කරනවා. ඒ සඳහා ඇගයීමක්වත් නෑ. ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි” ලෙසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී සඳහන් කළා ය.

2020 පැවති මහ මැතිවරණයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු සිටි අතර ඉන් මන්‍ත්‍රීවරියන් 4 දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියන් විය. පාර්ලිමේන්තු මහ මැතිවරණයන්හි මෙතෙක් පැවැති සියලු වාර්තා බිඳ හෙළමින් මෙරට වැඩිම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව ලෙස 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය හරහා පත්වූ 10වැනි පාර්ලිමේන්තුව සමත් වී තිබේ.

ඒ අනුව 2024 මැතිවරණයට පෙර පැවති මහ මැතිවරණ හා සසඳා බලන කළ මෙවර පැවැති මහ මැතිවරණය, කාන්තාවන් දේශපාලනය තුළ සවිබල ගැන්වුණු මැතිවරණයක් ලෙසට හැඳින්විය හැකිය.

සටහන
Srimal DC

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග