ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!

A student died after being assaulted by female teachers.

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි  සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි රමේෂා දිනිති නම් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම් ලබන දැරියකි.

මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙර දී රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප මත මුදාහැර සිටි එම පාසල් ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම අමානුෂික පහර දීම ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක් විසින් ඉකුත් අගෝස්තු මස නවවනදා  සිදුකර ඇත.  ඒ අනුව අදාළ දැරිය තවත් සිසුවියක් සමඟින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එකිනෙකා පරස්පර පිළිතුරු ලබාදීම හේතුවෙන් මෙලෙසින් අදාල දැරියට පහරදී අව්වේ දණ ගැස්සවූ බව සිද්ධියට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා ඇත.

මෙලෙස පහර කෑ පාසල් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇත. අනතුරුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණ අතර පසුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එම උත්සහය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හා 57 යන හැවිරිදි ගුරුවරියන් දෙදෙනෙක් වන අතර එම සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 13 වනදාය.

-චේතනා ගොමිස්-
Social Sharing
අවකාශය නවතම