අජිත් පැරකුම් ජයසිංහ
අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි. එය කෙතරම් සීමාව ඉක්මවා ගියාද යත්, සිංහල පිරිමින්ගේ ෆැන්ටසියට ඔබින පරිදි ඇගේ රූපය සුදු කර සකසා භක්ෂණය කරනු දක්නට ලැබිණි.
කුමාර හෙට්ටිආරච්චි ලියූ කවියක් ද මේ අතර වයිරල් විය. එය පහත පළ වේ. එය නම් ජනවාර්ගික ප්රශ්නය නැවත මුලට ගෙන යන මට්ටමේ ප්රතිගාමී කවියකි. එහි කථකයා දැඩි අනුකම්පාවක් පෙන්නමින් අම්බිකා බඳින්නට හිතෙන බව කියයි. දෙමළ ගැහැණිය සමග ලිංගික සම්භෝගය මුල් කරගෙන පවුලක් ගොඩනගාගන්නට තරම් කැප කිරීමක් කරන්නට තමන් සූදානම් යයි වැඩිහිටි සිංහල පිරිමියකු කීම තුළ තිබෙන ජඩ ස්වෝත්තමවාදය කොයි තරම්ද? එය ඒ අදහස විහිළුවට නංවන උපහාස කවියක් වූවා නම් පිළිගත හැකිය.
මෙම පසුබිම හේතුවෙන් අම්බිකා පිළිබඳ තොරතුරු සොයා බැලීමි. තිස් පස් හැවිරිදි අම්බිකා මඳක් දෙමළ ඌරුව සහිතව ඉතා හොඳින් සිංහල භාෂාව ද කතා කරන, උගත්, දක්ෂ කාන්තාවකි. ඇය උපකාරක පන්ති ගුරුවරියක ද ලෙස සේවය කර ඇත. එසේම, සමාජ ක්රියාකාරීත්වයේ පළපුරුදු කාන්තාවක බව ද දක්නට ලැබේ. ඇය වතු කම්කරු කාන්තාවක නොවේ.
“හිතන්න එපා වතුකරයෙ ඉන්නෙ දළු කඩන අය විතරක් කියලා. අපි නැගිටලා ඉවරයි. අප අතර උගත්, බුද්ධිමත් අය ඉන්නවා,” යි ඇය කියයි.
ඇය වැනි දෙමළ කාන්තාවන් බොහෝ දෙනෙකු අප දැක ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හැසිරවිය හැකි ඇය වැනි කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන ආදියේ අවස්ථා තිබේ. ඇගේ ප්‍රජාව අතර බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් තිබේ. කඳුරට දෙමළ ප්‍රජාව මේ වන විට ආර්ථිකයේ ඉතා වැදගත් ශ්‍රම බලකායකි.
මේ අතර බොහෝ ගැටලු ද තිබේ. බොහෝ අය දකින්නේ සංවර්ධන ගැටලුය. එහෙත් දේශපාලන ගැටලුව වඩා ප්‍රමුඛය. දෙමළ ප්‍රභූන් වතුකරයේ දෙමළ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද කුට්ටිය විකුණා තනතුරු, වරප්‍රසාද හා වාසි ලබාගැනීම එයින් එකකි. අම්බිකා ද ප්‍රභූ ස්ථරයට එකතු වෙමින් සිටින නායිකාවකි. ඇය එයින් කෙතරම් දුරට වෙනස් වනු ඇද්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.
කඳුකරයේ දෙමළ ජනයාට ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලන බලයයි. මෙතෙක් දේශපාලනයේ සිටි අය ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකළ බව ද, කඳුකරයේ දෙමළ ජනයා වහල්භාවයේ තබාගනිමින් තම බලය රැකගත් බව ද අම්බිකා නගන චෝදනාවයි. අලුතෙන් බලයට එන සියලු දෙනා මෙවැනි දේ කියා ඇත. එය වෙනස් කිරීමට ඇයට හැකි විය යුතුය.
සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙවර නුවරඑළියෙන් තේරී පත් වී ඇත. ඇය ජවිපෙ ක්‍රියාකාරිනියක් විය හැකිය. කෙසේ වෙතත්, ඇය ගැන අම්බිකා ගැන තරම් සිංහල සමාජයේ උනන්දුවක් නැති වීම ද විශේෂයකි.
පහත දැක්වෙන්නේ අම්බිකා ගැන කුමාර හෙට්ටිආරච්චි ලියූ කවියයි. ඉහලින්ම දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ සිංහල පිරිමියකු හා ගැහැණියක විසින් කරනු ලබන යූටියුබ් නාලිකාවක වැඩසටහනකදී පිරිමියාගේ ‘ආදරණීය’ චර්යාවකි.