දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්

 

දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන දහනය කිරීම වැනි මානව ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසවල ප්‍රධාන ධාවකය බවට පත්ව ඇත.

දේශගුණික විපර්යාස ඇති වීමට ගෝලීය උණුසුම ඉහළ යාම ප්‍රධාන හේතුවක් වී තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා මිනිසුන් වගකිව යුතුය. දේශගුණ විද්‍යාඥයන් පවසන්නේ පසුගිය වසර 200ක කාලය තුළ ඇති වූ ගෝලීය උණුසුම ඉහල නැංවීමට හේතු වූ සියල්ලම පාහේ මානව ක්‍රියාකාරකම් නිසා සිදු වූවක් බවයි.

හරිතාගාර වායු (GHGs) ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රධාන හේතුවයි. ඒ අනුව හරිතාගාර වායූන් දේශගුණික විපර්යාස සඳහා වගකිව යුතු ප්‍රධාන අංගයක් වේ. ස්වභාවික ක්‍රියාවලීන් සහ මානව ක්‍රියාකාරකම් හරහා හරිතාගාර වායූන් නිර්මාණය වේ. ස්වභාවිකව ඇති හරිතාගාර වායු ලෙසට කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ඕසෝන් යනාදිය ගත හැකිය.

මානව ක්‍රියාකාරකම් නිසා නිපදවෙන හරිතාගාර වායු ලෙසට ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් (CFC), හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන් (HFC), පර්ෆ්ලෝරෝ කාබන් (PFC), සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් (SF6) සහ නයිට්‍රජන් ට්‍රයිෆ්ලෝරයිඩ් (NF3) සැළකිය හැකිය.

ගිනිකඳු පිපිරීම්, ශාක ශ්වසනය, සතුන් සහ මිනිසුන් ප්‍රාශ්වාස කිරීම හරහා කාබන් ඩයොක්සයිඩ් (CO2) නිකුත් කිරීම හරිතාගාර වායූන් නිපදවෙන ස්වභාවික ක්‍රියාවලියකට උදාහරණයකි.

මානව ක්‍රියාකාරකම් හරහා හරිතාගාර වායූන් නිපදවෙන ආකාරය

ෆොසිල ඉන්ධන දහනය කිරීම: විදුලිය, තාපය සහ ප්‍රවාහනය සඳහා ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු දහනය කිරීම හරිතාගාර වායු ඇතිවීමේ ප්‍රධාන ප්‍රභවයන්ය.

වන විනාශය: වන විනාශය සහ අනෙකුත් ඉඩම් පරිහරණ ක්‍රියාකාරකම් ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකකට පමණ වගකිව යුතුය.

කෘෂිකර්මය: ආහාර නිෂ්පාදනය, සැකසීම සහ ප්‍රවාහනය කිරීම සඳහා පොසිල ඉන්ධන දහනය කිරීම සහ රසායනික පොහොර භාවිතා කිරීම වැනි නවීන ගොවිතැන් පිළිවෙත් හරිතාගාර වායු මුදා හැරීමට හේතුවක් වී තිබේ.

කාර්මික ක්‍රියාවලීන්: රසායනික ද්‍රව්‍ය, යකඩ, වානේ සහ සිමෙන්ති නිෂ්පාදනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා හරිතාගාර වායු පරිසරයට මුදාහරියි.

කාන්දුවීම්: ස්වාභාවික වායු සඳහා තෙල් ළිං කැණීමේදී සහ පෙට්‍රෝලියම් යනාදිය නිෂ්පාදනය කිරීමේ පද්ධතිවල සිදුවන කාන්දු වීම් හරහා හරිතාගාර වායූන් නිකුත් වේ.

හරිතාගාර ආචරණය යනු කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායූන් පෘථිවි වායුගෝලයේ සූර්යයාගේ තාපය රඳවා ගන්නා ස්වභාවික ක්‍රියාවලියකි. මෙම සිරවී ඇති තාපය පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්මට සහයෝගය දැක්වීමට තරම් උණුසුම්ව තබයි. කෙසේ වෙතත්, පොසිල ඉන්ධන දහනය, වන විනාශය සහ කාර්මික ක්‍රියාවලීන් වැනි මිනිස් ක්‍රියාකාරකම් හරිතාගාර ආචරණය ශක්තිමත් කරමින් වායුගෝලයට අමතර හරිතාගාර වායු එකතු කරයි.

මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වී ඇති අතර එමඟින් හරිතාගාර ආචරණය ශක්තිමත් වී ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් රටවල්වල ආන්තික කාලගුණික සිදුවීම්, මුහුදු මට්ටම ඉහළ යාම සහ දැඩි නියඟ වැනි දේශගුණික විපර්යාස ඇති කරයි. හරිතාගාර වායූන් පෘථිවිය වටා සිටිමින් බ්ලැන්කට්ටුවක් මෙන් සූර්යයාගේ තාපය උගුලකට හසු කර ගන්නා අතර, පෘථිවිය වෙන කවරදාටත් වඩා වේගයෙන් උණුසුම් කරයි.

ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන වනාන්තර වැනි ස්වභාවික පද්ධති ආරක්ෂා කිරීම මගින් වැඩිදියුණු කරන ලද හරිතාගාර ආචරණය දුර්වල කළ යුතුය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දේශගුණික විපර්යාස දර්ශකයට අනුව අද, පෘථිවි පෘෂ්ඨය 1800 ගණන්වල අග භාගදී පැවැති අගයට වඩා 1.2 ° C පමණ උණුසුම් වේ. පසුගිය දශකයේ (2011-2020) වාර්තාගත ලෙස පෘථිවි පෘෂ්ඨය උණුසුම් වූ අතර, එය 1850 සිට ඒ දක්වා පැවතී සෑම දශකයකම තීබූ උෂ්ණත්වයට වඩා බෙහෙවින් උණුසුම් විය.

දේශගුණික විපර්යාස මහජනතාවගේ සෞඛ්‍යයට, ආහාරවලට, නිවාසවලට, ආරක්ෂාවට සහ රැකියාවට බලපායි. කුඩා දූපත් රටවල සිටින ප්‍රජාවන්ගේ සිට සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින ප්‍රජාවන් දක්වා බොහෝ පුද්ගලයින් දේශගුණික විපර්යාස හරහා වැඩි වශයෙන් අවදානමට ලක් විය හැකිය. ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ග්ලැසියර දියවීම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යාම ඇතැම් සාගර ප්‍රජාවන්ගේ පැවැත්මට බලපෑමක් ඇතිකර තිබේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දිගු නියඟ, ආහාර හිඟ වීමේ අවදානම යනාදිය නිර්මාණය කරයි. අනාගතයේදී, අයහපත් කාලගුණය නිසා ඇතැම් ප්‍රජාවන්ට වෙනත් ස්ථානයන්ට සංක්‍රමණය වීමට පවා සිදු විය හැකිය. එය ඔවුන්ගේ සංස්කෘතියේ පැවැත්මටද තර්ජනයක් විය හැකිය.

2024 දී ලොව පුරා සිදු වූ අසාමාන්‍ය දේශගුණික සිදුවීම් කිහිපයක් සඳහා උදාහරණ:

1. ෆුජි කන්දේ හිම නොමැතිකම : වසර 130කට පසු පළමු වතාවට ජපානයේ ෆුජි කන්ද 2024 ඔක්තෝබර් මැද වන විට හිම රහිතව පැවතිණි.

2. සහරා කාන්තාරයේ හිම : අධික උණුසුම සඳහා ප්‍රසිද්ධ සහරා කාන්තාරය, 2024 මුලදී දුර්ලභ හිම පතනයකට මුහුණ දුන් අතර, එය වර්තමාන දේශගුණික විපර්යාසවල අනපේක්ෂිත ස්වභාවය ඉස්මතු කරයි.

3. නයිල් ගඟේ ජල මට්ටම් අඩුවීම: පවතින නියඟ සහ වෙනස්වන වර්ෂාපතන රටාවන් නයිල් නදියේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහත හෙළමින් ජල සැපයුමට හා කෘෂිකර්මාන්තයට තර්ජනයක් වී ඇත.

4. ආසියාවේ රටවල් අධික උෂ්ණත්වයක් අත්විඳිම (heatwaves): 2024 අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේදී ඉන්දියාව, පිලිපීනය සහ තායිලන්තය වැනි රටවල් මාරාන්තික තාප තරංගවලට මුහුණ දුන් අතර එම රටවල උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියේය. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ට වඩා වැඩි විය. මිනිස් මරණ වැඩිවීම, නියඟය සහ ජලයේ ගුණාත්මක බව අඩු වීම, ලැව්ගිනි ඇතිවීම, විදුලිය හිඟය සහ කෘෂිකාර්මික පාඩු ඇතුළු සෞඛ්‍ය, ආර්ථික වැනි බොහෝ අවදානම් මේ හරහා ඇතිවිය හැකිය.

5. බ්‍රසීලයේ සහ කෙන්යාවේ ගංවතුර : 2024 මාර්තු සහ මැයි මාසවල දැඩි වර්ෂාපතනයක් පතිත වීමෙන් එම රටවල් දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් අතර, දහස් ගණනක් මහජනතාව අවතැන් වී රටවල් දෙකෙහිම විශාල දේපල හානි සිදු විය.

දේශගුණික විපර්යාස උෂ්ණත්වය පමණක් නොව කාලගුණ රටා සහ ස්වභාවික පරිසර පද්ධති ද වෙනස් කරන ආකාරය මෙම සිදුවීම් වලින් පැහැදිලි වේ.

ගෝලීය උණුසුමෙහි සෑම වැඩිවීමක්ම වැදගත් වන්නේ ඇයි?

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කළ හැකි නම්, නරකම දේශගුණික බලපෑම් වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවත් එම උෂ්ණත්වය පෘථිවි වාසීන්ට ජීවත්වීමට සුදුසු බවත් විද්‍යාඥයන්ගේ මතයයි. කෙසේ වෙතත්, සියවස අවසානය වන විට ගෝලීය උණුසුම් වීම 3.1 ° C දක්වා ළඟා විය හැකි බවට ඔවුන් විසින් අනුමාන කර තිබේ.

දේශගුණික විපර්යාස වළක්වා ගන්නේ කෙසේද?

1. ෆොසිල ඉන්ධන දහනය කිරීම අවම කිරීම: හරිතාගාර වායූන් අඩු කිරීම සඳහා ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වෙනුවට සුළං, සූර්ය සහ ජල විදුලිය වැනි පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීම, අඩුවෙන් රිය පැදවීම, පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සහ විදුළි වාහන වලට මාරුවීම ද වායු විමෝචනය අඩු කිරීමට උපකාරී වේ.

2. වන විනාශය නැවැත්වීම: වනාන්තර ආරක්ෂා කිරීම සහ වැඩිපුර ගස් වැවීම කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගැනීමට සහ දේශගුණික විපර්යාස මන්දගාමී කිරීමට උපකාරී වේ. මිලදී ගැනීමේදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන තෝරාගැනීම සහ වනාන්තර ආරක්ෂා කරන සමාගම්වලට සහාය වීම හරහා පරිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා වෙළෙඳපොල තුළ ධනාත්මක වෙනසක් ඇති කළ හැකිය.

3. පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රම අනුගමනය කිරීම: ගොවිතැනේදී පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, කාබනික පොහොරවලට මාරුවීම සහ පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම මඟින් හරිතාගාර වායු විමෝචනය අඩු කළ හැකිය. ශාක ආශ්‍රිත ආහාර වැඩිපුර ගැනීම සහ ආහාර නාස්තිය අවම කිරීම ද මහා පරිමාණ ගොවිතැනක අවශ්‍යතාවය අඩු කිරීමට උපකාරී වේ.

4. කාර්මික ක්‍රියාවලීන්: කර්මාන්තශාලා සඳහා පරිසර හිතකාමී ක්‍රියාවලීන් සහ තාක්ෂණයන් භාවිතා කිරීම කළ හැකි අතර, අඩු හරිතාගාර වායු විමෝචනයක් නිපදවන විකල්ප ද්‍රව්‍ය භාවිතා කළ හැකිය. වානේ සහ ඇලුමිනියම් වැනි ලෝහ ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහාද හරිතාගාර වායු විමෝචනය අඩු කළ හැක.

5. කාන්දුවීම්: හරිතාගාර වායූන් අඩු කිරීම සඳහා ස්වභාවික ගෑස් සහ තෙල් පද්ධතිවල කාන්දුවීම් සිදුවන ස්ථාන නිසි පරිදි නඩත්තුකර ඒවා අලුත්වැඩියා කිරීම වැදගත් වේ. නිතිපතා පරීක්ෂා කිරීම් සහ වඩා ඉහළ තාක්‍ෂණය යොදා ගැනීම සමාගම්වලට මෙම වායු කාන්දුවන ස්ථාන ග්‍රහණයකර ගැනීමට සහ වායු කාන්දුවීම් වැළැක්වීමට උපකාරී වේ.

ඉහත අංශවල වෙනස්කම් සිදු කිරීමෙන්, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ ඒ හරහා සිදුවන දේශගුණික විපර්යාස මන්දගාමී කිරීම කළ හැකිය.

දේශගුණික විපර්යාස ඇති කරන හරිතාගාර වායු ඇති කිරීම ලෝකයේ සියලුම රටවල්වල දැකිය හැකි කාරණාවකි. එහෙත් ඇතැම් රටවල් අනෙක් රටවල්වලට වඩා හරිතාගාර වායු වැඩියෙන් විමෝචනය කරයි. 2023 දී, ලොව විශාලතම විමෝචක ලෙසට චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපීය සංගමය, රුසියාව සහ බ්‍රසීලය හරිතාගාර වායුවලින් අඩකට වඩා සෑදූ අතර, අඩුම සංවර්ධිත රටවල් 47 නිෂ්පාදනය කළේ 3% ක් පමණි. මේ නිසා වැඩිපුර හරිතාගාර වායු නිපදවන රටවලට හරිතාගාර වායු නිපදවීම අවම කිරීම සඳහා පළමුව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් ඇත.

දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන හානි පුරණය සඳහා විශාල මුදලක් වැය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමට සහ එම රටවල හරිත ආර්ථිකයන් සඳහා වැඩ කිරීමට පොහොසත් රටවල් විසින් උපකාර කිරීම එක් වැදගත් පියවරකි.

කෙටියෙන් කිවහොත්, දේශගුණික විපර්යාස යනු සෑම කෙනෙකුටම බලපාන ගෝලීය ගැටලුවක් වන අතර අනාගත පරම්පරාව සඳහා පෘථිවිය ආරක්ෂා කිරීමේ වගකීම අප සැමට පැවරී ඇත.

සටහන
Srimal DC

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග