“EPF දූෂණ ගැන මහ බැංකු අධිපති-ජනපති නිහඬයි”

Irregularities in the Employees Provident Fund

සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් මෙන්ම මහ බැංකු අධිපතිවරයාගෙන් ද සාධාරණ ප්‍රතිචාරයක් නැතැයි එම වෘත්තිය සමිති චෝදනා කරයි.

ශ්‍රමිකයන් ලක්ෂ 27කගේ ට්‍රිලියන හතරකට අධික අරමුදල් ඇති සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් කළ පස් වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධයෙන් බලධාරින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති නියෝජිත ඇන්ටන් මාකස් ඊයේ (12) කොළඹදී මාධ්‍ය හමුවේ පැවැසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හා මහ බැංකු අධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම ගැන කරුණු විමසීම සඳහා මහ බැංකු අධිපතිවරයා මුණගැසීමට පැමිණ ඊට අවස්ථාවක් නොලැබීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේ ද කීය.

“ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති 14ක් ලක්ෂ 27ක් වූ ශ්‍රමිකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් ආරක්ෂා කරගැනීමට මේ වනවිට දිගින් දිගටම මහ බැංකු අධිපති ඇතුළු බලධාරින්ට කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සඳහා අපි යෝජනා පහක් පැහැදිලිව ඉදිරිපත් කළා. ට්‍රිලියන 4ක මුදලක් ඇති මේ අරමුදලේ ඇති අක්‍රමිකතා පෙන්වාදෙමින් අපි ජනාධිපතිවරයාටත් මහ බැංකු අධිපතිවරයාත් ලියුමක් බාරදුන්නා. ඒත් ඒ ඉදිරිපත් කළ ලියුමට මහ බැංකු අධිපතිවරයාගෙන් ලැබුණ පිළිතුර පිළිගන්න බෑ. එහි අප මතුකළ ප්‍රශ්නවලට උත්තර නෑ. ඒ නිසා අපේ ප්‍රතිචාරය ලිඛිතව දක්වන්න ආවත් අද මුණගැසෙන්න අවස්ථාව ලැබුණේ නෑ.

ජනාධිපතිවරණයට පෙර ජනපතිටත් අපේ යෝජනා ඉදිරිපත් කළා. ජනපතිගෙනුත් පිළිතුරක් නැති නිසා ඔක්තෝබර් 16 ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ටත් සිහිකැඳවීමක් කළා. මහබැංකු අධිපති තමයි මේක බාරව ඉන්නේ. ඔහුට මැතිවරණ අදාළ නෑ. විධායක ජනාධිපතිටත් නිහඬව ඉන්න බෑ. මේ ලියුම ලැබුණා කියල කියන්න බැරිකමක් නෑනේ.

සේවක අර්ථසාධක අරමුදල සුරකින්න බලධාරින්ට අවශ්‍යතාවක් නැද්ද? එහෙම නම් අපි ලිපි බාරදීමෙන් ඔබ්බට ගොස් තැපැල්පත් ලක්ෂ ගණනක් යොමුකරමින් මීට විරුද්ධව ක්‍රියා කිරීමට සූදානම්. ඒ වගේම මෙහි හිමිකරුවන් වන ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කරන්නටත් අපි කටයුතු කරනවා. මේ අරමුදල සුරැකීම සඳහා ආණ්ඩුවෙන් සහතිකයක් ලබාගන්නා තෙක් ඉදිරියට ගෙනයනවා.”

Social Sharing
අවකාශය නවතම