වසර 12 පසුව, පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වූ නිමල් චන්ද්‍රසිරිට වන්දිය ලක්ෂ 5යි

2012 වසරේ අප්‍රේල් මාස 15 වනදා තල්පිටියේ ධීවරයෙකු වූ නිමල් චන්ද්‍රසිරි යන අයට වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී ම්ලේච්ඡ ඉරණමකට මුහුණ දීමට සිදු විය. වසර 12කට පසුව ඊයේ දිනයේ ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව නිකුත් කළ අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ නිමල් චන්ද්‍රසිරි මහතාගේ මූලික අයිතිවාසිකම් පොලිසියේ විෂමාචාරය හේතුවෙන් උල්ලංඝනය වී ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වන වගන්තිය උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.

ඒ අනුව වගකිවයුතු පොලිස් නිලධාරීන් දෙදෙනාට  පුද්ගලිකව රුපියල් 125,000 බැගින් සහ අතිරේකව රජය විසින් රු. 250,000ක් ද, ඒ අනුව වින්දිතයාගේ පවුලට සම්පූර්ණ වන්දි මුදල්ව වශයෙන් රු. 500,000 ගෙවිය යුතු බව තීරණය විය. මෙම තීන්දුවෙන් අවධාරණය කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වූ නිසා ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකිවූ බවයි.

මෙම නඩු විභාගය ජනාධිපති නීතිඥ ජේ.සි. වැලිඅමුණ මහතා විසින් සිදු කරගෙන ගිය අතර ඔහු විදේශගත වීමෙන් අනතුරුව නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා විසින් එය ඉදිරියට ගෙනයාම සිදුකරන ලදී.

නිමල් චන්ද්‍රසිරි යන අය 2012 වසරේ සැක කටයුතු තත්ත්වයක් යටතේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පහර දීම් හා වධහිංසා හේතුවෙන් ඔහු පොලිස් සිර මැදිරිය තුළ දැඩි වේදනාවකින් පසු වී සිටි ඇති අතර ඒ පිළිබඳව ඔහුගේ පවුලේ අය පොලිස් නිලධාරීන්ට දන්වමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් සිදු කර නොමැත. ඔවුන් ඒ වෙනුවට ඔහුගේ වේදනාව හුදු මවාපෑමක් ලෙස හුවා දැක්වීය. පසුව නිමල් චන්ද්‍රසිරි යන අය රෝහලට රැගෙන ගිය ද ඔහු ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

පොලිස් ම්ලේච්ඡත්වය පිළිබඳ චෝදනාවලින් වැසී ගිය මෙම නඩුව දිගුකාලීන ප්‍රමාදයන්ට මුහුණ දුන් අතර, දශකයකට වැඩි කාලයක් එනම් වසර 12කට අධික කාලයක් ඔහුගේ පවුලේ අයට  යුක්තියෙහි සරණ පැතීමට සිදු විය. ඒ අනුව වින්දිතයාගේ බිරිඳ වන දිලූපා සුදර්ශනී මහත්මිය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සහාය ඇතිව 2015 වසරේ මැන්ඩමස් ආඥාවක් ගොනු කළේ ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමිනි. ඒ අනුව ඇය විසින් පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඇතුළු ඉහළ බලධාරීන්ගෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියාය.

ඒ අනුව රිට් ආඥා පනත මඟින් ආරම්භ කරන ලද අභියාචනාධිකරණයේ මැදිහත්වීම විමර්ශනයට නව ජවයක් ගෙන ආ අතර 2017 වසරේ දී අවසානයේ හිටපු ස්ථානාධිපති වූ නිමල් කරුණාරත්න ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද අතර පසුව ඒවා අත්හිටුවන ලදී.

 

මේ සදහා නීති ආධාර ලබා දී ඇත්තෙ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය වන අතර එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පොලිස් වදහිංසනයට ලක් වූ ඕනෑම අයකුට නීති සහ වෙනත් ආධාර සැපයීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සූදානම් බවත් ඒ සදහා ඔවුන්ගේ දිවයින පුරා පිහිටි මානවහිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන කටයුතු කරන බවයි. එම ආයතනය සම්බන්ධ කරගත හැකි ආකාරය පපැවසුවේ  0112 669100 යන දුරකථන අංකයෙන් සහ [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ඔවුන් වෙත සම්බන්ධ විය හැකි බවයි.

 

Social Sharing
නවතම පුවත්