ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද

ඇමරිකා එක්සත් ජනපද 47 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඡන්ද වීමසීම අද (5) පැවැත්වීමට නියමිතය.  රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිව වන කමලා හැරිස් අතර තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෝලනය වන මෙවර ජනාධිපතිවරණය වැඩි අවධානයකට ලක් නොවූ තුන්වැනි පාර්ශ්වයට හා ස්වාධීන පාර්ශ්වයට අයත් තවත් අපේක්ෂක අපේක්ෂිකාවෝ සිව්දෙනකු ද සිටිති. ලිබර්ටේරියන් පක්ෂයේ අපේක්ෂක 39 හැවිරිදි චේස් ඔලිවර්, හරිත පක්ෂයේ අපේක්ෂක 74 හැවිරිදි ජිල් ස්ටේන්, සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකා 44 හැවිරිදි ක්ලෝඩියා ඩි ලා කෘස් සහ ස්වාධීන අපේක්ෂක 71 හැවිරිදි කෝර්නල් වෙස්ට් ඒ අතර වෙති. කෙසේ වුවද සටන පවතින්නේ අමෙරිකාවේ ප්‍රධානතම අපේක්ෂකයන් වන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ 60 හැවිරිදි කමලා හැරිස් අතරය.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇත්තේ 1% ක සියුම් වෙනසක් වුවද, ජනාධිපති ධුරය තීරණය වන්නේ රටේ පුරවැසියන්ගේ ඡන්දයෙන් ජය ගන්නා වඩාත්ම ජනප්‍රිය අපේක්ෂකයා නොව අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක් එක් ප්‍රාන්තවල ස්ථාපිත කර ඇති Electoral College නමින් හඳුන්වනු ලබන ක්‍රමවේදයකට අනුවය. එම ක්‍රමය යටතේ අදාළ ප්‍රාන්තයට ලැබී ඇති සෙනෙට් සභා ආසන සංඛ්‍යාව අනුව ඡන්ද 538කින් ඡන්ද 270ක් හෝ ඊට වඩා ලබාගන්නා අපේක්ෂකයා අමෙරිකාවේ මීළඟ ජනාධිපතිධුරයට පත්වනු ඇත.

මෙවර කමලා හැරිස් ජයගන්නේ නම් අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත. එම වාර්තාව 2016 ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් වෙතින් ගිලිහී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වීමෙනි. එය අවාසනාවන්ත පරාජයක් වන්නේ එවර අමෙරිකාවේ පුරවැසියන්ගේ ජනප්‍රියතම ජනපති අපේක්ෂක ලෙස ඇය ඡන්ද මිලියන 65.85ක් ලබා පෙරමුණට පත්වීම හේතුවෙනි. එහෙත් ඡන්ද මිලියන 62.98ක් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූයේ Electoral College ක්‍රමවේදයට පිංසිදු වන්නටය. දැන් නැවත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ කාන්තාවක වීම විශේෂත්වයකි.

එමෙන්ම කමලා හැරිස් ජයගන්නේ නම් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ දෙවැනි කළු ජාතිකයා ලෙසත් ඉතිහාසගත වනු ඇත. මීට පෙර 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් බැරක් ඔබාමා එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා විය. තමිල්නාඩුවේ මවකට සහ අප්‍රිකානු – ජැමෙයිකානු සම්භවයක් සහිත පියකුට දාව කැලිෆෝනියාවේදී උපත ලැබූ කමලා දේවි හැරිස් අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජයග්‍රහණය කරන්නේ නම් එය ආසියානු සම්භවයක් සහිත පුද්ගලයකු අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද වනු ඇත.

අනිත් අතට ඇගේ ජයග්‍රහණයෙන් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස සිය නාමය නිවේදනය කිරීමේ ඓතිහාසික අවස්ථාවත් ඇයට උදාවනු ඇත. මීට පෙර එවැනි විරල හා ආශ්චර්යමත් අවස්ථාවක් 1989 වසරේ ජනාධිපතිවරණයේදී සිදුවී තිබේ. එවර උප ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරණය ජයගත් අතර, එය නිල වශයෙන් නිවේදනය කිරීමේ අවස්ථාව ද උදා වී තිබිණි.

 

Social Sharing
අවකාශය නවතම විදෙස්