අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්

 

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

2024.11.03

ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කතෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) / ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක් වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම.

සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ එහෙත් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු විශාල කණ්ඩායමක් මේ වන විටත් දිවයින පුරා සිටින බව ලැබී ඇති තොරතුරු සහ ඉල්ලීම් වලින් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් අදාළ අමාත්‍යාංශය කරනු ලැබූ විමසීම් වලදී ද ගැටලුකාරී තත්ත්වයන් පවතින බව අනාවරණය වී ඇත.

උක්ත කරුණ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කොට වාර්තාවක් සකස් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක් මේ වන විට පත් කර ඇති අතර එම වාර්තාවේ පහත සඳහන් කරුණු අඩංගු විය යුතු බව දන්වා ඇත.

1. අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු එහෙත් ඒ අවස්ථාව අහිමි වූ සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රම වේදයක් සැකසීම.

2. අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන්
අස් වැසුම වැඩසටහනට ඇතුළත් නොවීමට බලපා ඇති හේතු අධ්‍යයනය කොට වාර්තා කිරීම.

3. සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම් වැඩසටහනට ඇතුළත් කරගැනීම සඳහා තෝරා ගැනීමේ ක්‍රම වේදයට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කරන නිර්ණායක වාර්තා කිරීම.

මේ පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් කර එහි වාර්තාව 2024 දෙසැම්බර් 15 දිනට පෙර ලබා දීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් කමිටුව වෙත උපදෙස් ලබා තිබේ.

එච්.එස්.කේ.ජේ.බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත්