රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙයි.
මාධ්‍ය නිවේදන අංක PE/2024/52 යටතේ 2024.11.02 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි
පාර්ලිමේන්තු මැතිවරණය – 2024 නොවැම්බර් 14
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ජාතික මැතිවරණවල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වගන්තිය අනුව මැතිවරණයකදී නිවාඩු ලබා දීම
සම්බන්ධයෙන් වන උපුටනය පහතින් දැක්වේ.
122 (1) මැතිවරණයක දී පෞද්ගලිකව ඡන්දය දීමට හිමිකම් ඇති වෙනත් යම් තැනැත්තෙකුගේ සේවායෝජකයෙකු වූ යම් තැනැත්තෙකු විසින්, ඒ වෙනත් තැනැත්තා ඡන්දය දීම පිණිස නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලීමක් කළ විට, ඒ මැතිවරණයේදී ඔහුට පෞද්ගලිකව ඡන්දය දීමට හැකි වනු පිණිස ප්‍රමාණවත් යයි ඒ තැනැත්තා විසින් සලකනු ලබන (පැය හතරකට නොඅඩු කාලයක) අඛණ්ඩ කාලයක් වැටුප් අහිමි වීමක් නොමැතිව ඒ වෙනත් තැනැත්තෙකුට ලියවිල්ලකින් දෙනු ලැබිය යුතුය.
(1 අ) සෑම සේවා යෝජකයෙකු විසින් ම –
(අ) (1) වන උපවගන්තිය යටතේ නිවාඩු ඉල්ලුම් කරන තැනැත්තන්ගේ නම්;
53
(ආ) එම උප වගන්තිය යටතේ නිවාඩු දෙනු ලබන තැනැත්තන්ගේ නම් සහ ඒ තැනැත්තන්ට ඒ නිවාඩු දෙනු ලැබුවේ කවර කාල පරිච්ඡේද සඳහා ද යන වග; දැක්වෙන ප්‍රකාශයක් පිළියෙල කළ යුතු අතර එම ප්‍රකාශය සේවා ස්ථානයේ ප්රකටව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමට සැලැස්විය යුතුය.
(2) (1) වන උප වගන්තියෙහි හෝ (14) වන උප වගන්තියෙහි හෝ විධිවිධාන කඩ කරන හෝ ඒ අනුව ක්‍රියා කිරීම පැහැර හරින යම් තැනැත්තකු වරදක් කරන අතර මහේ ස්ත්රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ දෙකක් නොඉක්මවන දඩයකට හෝ එක් මාසයක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය. ”
02. ඉහත සඳහන් වගන්තියේ විධිවිධාන ප්‍රකාර ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබාදිය යුතුය. එසේ දෙනු ලබන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තිකයන්ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතුය.
03. ඉහත සඳහන් පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.
04. රාජ්‍ය අංශයේ, නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 12.3 ජේදයේ දක්වා ඇති පරිදි, පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවම කාලය පැය 4 ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍යයැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩු කිරීමක් නොමැතිව විශේෂ නිවාඩු ලබා දිය යුතු බව ද දක්වා ඇත.
05. එසේ වුවද පෞද්ගලික අංශයේ, සේවා නියුක්තීන්ට ලිඛිත නියමයකින් පැනවූ එවැනි විශේෂ නිවාඩු ලබා දීමේ ක්‍රම වේදයක් නොමැති හෙයින් බොහෝ සේවා යෝජකයන් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා වූ නිවාඩු ලබා නොදෙන බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමඟ මින් පෙර ජාතික මැතිවරණ අවස්ථාවේ පැවති සාකච්ඡාවේදී ඇති කර ගන්නා ලද එකඟතාව අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ජාතිත මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට යෑමට හා ඊමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධනාවක් සකස් කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කරන ලද දැන්වීම අනුව මතු සඳහන් වගුවට අනුකූලව පෞද්ගලික අංශයේ සේවය කරන්නා වූ සේවක සේවිකාවන්ට, සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වූ නිවාඩු ලබාදීමට අදාළ සේවා යෝජකයින් කටයුතු කිරීම සුදුසු බවට නිර්දේශ කරන ලදී.
06. සේවා නියුක්තිකයෙකුට මෙම කාර්ය සඳහා දෙනු ලබන නිවාඩු කාල සීමාව, එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. මෙහිදී පහත හත් වන ඡේදයට යටත්ව පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස සලකා ආයතන ප්‍රධානීන් විසින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගත යුතුය.
ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය ලබා දිය යුතු අවම නිවාඩු කාල සීමාව
කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් දින භාග යයි (1/2)
කිලෝමීටර් 40 ත් කිලෝමීටර් 100ත් අතර නම් දින එකයි (1)
කිලෝ මීටර් 100 ත් කිලෝමීටර් 150ත් අතර නම් දින 1 1/2 යි
කිලෝමීටර් 150 ට වැඩි නම් දින 2 යි
07. ඉහත සටහනින් යෝජනා කර ඇත්තේ ලබා දිය යුතු අවම කාලය වන අතර දිවයිනේ සමහර ඡන්දදායකයින්ට ඡන්ද පොළට යෑමට හා ඊමට දින තුනක් අවශ්‍ය වන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන හෙයින් අවස්ථාවෝචිතව දින තුනක් නිවාඩු දීමට සිදු වන බවද සැලකිල්ලට ගත යුතු වේ. එහෙත් සේවා යෝජකයා විසින් ඡන්ද වීමසීම් ප්‍රදේශය දක්වා (ඡන්ද පොළට ප්‍රවාහන පහසුකම් ලබා නොදිය යුතුයි) විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා දීම හා අධිවේගී මාර්ග භාවිතය තුළින් කාලය කලමනා කරණය කර ගන්නා විට පැය 4 සීමාවට යටත්ව අවම නිවාඩු කාලය ගණනය කිරීමේදී අවධානය යොමු කළ හැක.
08 මෙහිදී, සේවා නියුක්තීන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම කළ යුතු අතර, සෑම සේවා යෝජකයකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර එය, සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු ද වේ.
09. නීතිය අනුව නිවාඩු ලබා ගැනීම පිළිබඳව මෙයට පෙර පැවති ඡන්ද විමසීම් වලදී සේවා නියුක්තිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයන්ට, නිත්‍යානුකූලව හිමිවන එම නිවාඩුව ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේ සියලුම සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටිමි.
10. මානව හිමිකම් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සැලකිල්ලට ගෙන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල් හා මැතිවරණ කොමිසන් සභාව මින් පෙර ඡන්ද විමසීම් වලදී එළඹි එකඟතාවට අනුව සැකසු පෙර සඳහන් නිර්දේශ වලට අනුකූලතාව දක්වමින් ස්වකීය ආයතනයේ සේවා නියුක්තීන්ට ඡන්දය දීමට යෑමට හා ඊමට ප්‍රමාණවත් නිවාඩු ලබා දෙන ලෙස සියලුම සේවායෝජකයන් වෙතින්
කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
11. මේ සම්බන්ධයෙන් සියලුම සේවායෝජකයන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව අතිශයින් කෘතඥ වෙමි.
සමන් ශ්‍රී රත්නායක
මැතිවරණ කොමසාරිස් ජනරාල්