විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩු විභාගය සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විභාගයකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ.

අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ වග උත්තරකාර නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත්කොට තිබියදී ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

නඩු විභාගයේදී වග උත්තරකරු අදාල චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මහින්ද සමය වර්ධන අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයි රාජා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙම විත්තිකරු නීතිඥ ආචාර ධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අදාල චෝදනා වලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥ භාවය වසර පහක කාලයක් අත්හිටු වීමට පියවර ගන්නා බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

Social Sharing
නවතම පුවත්