පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීමට බාධාවක් නැහැ

 

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පසුගිය (30) දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව RTM924 සහ CRTM762 දරන මෙම චක්‍ර ලේඛය දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති අතර එම චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ සංස්කරණය නොකළ වීඩියෝ හඬ පට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවය. එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, සංස්කරණය කළ වීඩියෝ පට පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සමාජගත කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවය.

මෙම චක්‍ර ලේඛය නිකුත් කරන්නට ප්‍රථම පොලිසියේ ඉහළම නිලධාරීන් අතර ඇති වූ කථිකාවක් පිළිබඳ හෙළිදරවු කරන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝ කළ මාධ්‍යවේදියා සම්බන්ධව පොලිසියේ හැසිරීමත්, ලොහාන් රත්වත්තගේ ආයුධ සහිත වාහනය අත් අඩංගුවට ගත් පසු එය ම අවස්ථාව වීඩියෝගත කල තරුණයා සම්බන්ධව පොලිසියේ හැසිරීමත් නිසා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ප්‍රසිද්ධ ස්ථානවල පොලිස් හැසිරීම් වීඩියෝගත කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවය.

මේ ප්‍රශ්න කිරීම් දිගටම සිදුවෙද්දී වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව කළ සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව හැරුණු විට බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙය කිසිම නෛතික වරදක් නොවන බවත්, එවැනි ඉඩකඩක් සැපයීමෙන් පොලිසියේ විනයානුකූල පැවැත්ම සමාජය තුළ තහවුරු කළ හැකි බවත් පෙන්වා දී ඇතැයි වාර්තා වී තිබේ. එමෙන්ම මෙම නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ යම් වීඩියෝ කිරීමට බාධා කරන බහුතරයක් නිලධාරීන් විනය විරෝධි කටයුතු වලට නැඹුරු වූවන් බවය.

හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මෙම ජනතා මැදිහත්වීමේ සාධනීය බව පිළිබඳ සංවාදයක් ගොඩනගා ඇතැයි ද මේ දීර්ඝ සංවාදයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් උක්ත චක්‍ර ලේඛය නිකුත් කර ඇතැයි ද හෙළිදර වූ වී ඇත.

 

පොලිස්පති නිල කාර්යාලය විසින් 2024.10.30 වැනිදින නිකුත්කළ එම චක්‍රලේඛයේ සඳහන් තොරතුරු පහත පරිදි වේ.

පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම සම්බන්ධ ව.

පොලිස් නිලධරයන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුල ව නිරීක්ෂණය වේ.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථා වලදී ඇතැම් පොලිස් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන ජංගම දුරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථා වලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

ඇතැම් පොලිස් නිලධරයන් ඉහත පරිදි ක්‍රියා කරන අවස්ථා බොහොමයක දී, එම නිලධරයන්ගේ නීති විරෝධී, විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් එකී පුද්ගලයන් විසින් විඩියෝගත කර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණයට ලක් වී ඇත.

මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධරයන්ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව මුලික ව ඔබ යටතේ සිටින නිලධරයන් වෙත දැනුම් දිය යුතු ය.

තවද, යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවක දී එම සංස්කරණය නොකල වීඩියෝ රෙකෝඩනය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුලත්ව ඇති අතර, එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවන පැමිණිලි පාර්ශවය පෙන්ට විත්ති පාර්ශවය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි ය.

Social Sharing
නවතම පුවත්