ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති

ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (NGO) සෑම වසරකම සිය ව්‍යාපෘති හරහා දැවැන්ත මුදලක් වැය කරන බවත්, පසුගිය කාලය තුළ ලියාපදිංචි NGO විසින් රුපියල් බිලියන 30 ක් වියදම්කර තිබෙන අතර, ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන වියදම්කළ මුදල එම වටිනාකම මෙන් දෙගුණයක් වන බවත් 2024 ඔක්තෝම්බර් 29 වැනි දින Daily Mirror පුවත්පතේ පළවූ ලිපියක සඳහන්කර තිබේ. එම අගයන් NGO නියාමනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවය ගැන ඉස්මතු කරන බව පුවත්පත විසින් වැඩිදුරටත් අවධාරණය කර දක්වයි.

රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් දැනට ලියාපදිංචි වී ඇත්තේ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත අනුව වන අතර ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සමාගම් පනත යටතේද ලියාපදිංචි වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින රාජ්‍ය නොවන සංවිධානවල වියදම් පිළිබඳ සෘජු අධීක්ෂණය රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සතු වේ.

කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධාන 700ක් පමණ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ විෂය පථය යටතේ පවතින අතර ඒවායෙහි වියදම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධීක්ෂණයක් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට නොමැති බවත් ඉහත පුවත්පතෙහි සඳහන් කර තිබුණි. Daily Mirror පුවත්පතෙහි තවදුරටත් දැක්වෙනුයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන වශයෙන් පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ මණ්ඩලවලට ඇතුළත් කර ඇති බවයි.

1980 දී රජය විසින් ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත පනවන ලද අතර එමගින් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතුකරන ලදී.

කෙසේ නමුත් 1980 දී ගෙන ආ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට පසුගිය රජය කටයුතු සලසන ලද අතර, පසුගිය රජය විසින් කෙටුම්පත් කරන ලද මෙම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනයෙන් පසු රේඛීය අමාත්‍යාංශයේ දැනට පවතී.

එම නව නීතිය ගැන සිවිල් සංවිධානවල අදහස්

1. රජයේ පාලනය වැඩි කිරීම
පනත් කෙටුම්පත මගින් රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි වැඩි පාලනයක් රජයට ලබා දෙන අතර, ඔවුන් රජයේ ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසීමට අවශ්‍ය වේ. මෙය රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන හෝ ප්‍රශ්න කරන රාජ්‍ය නොවන සංවිධාන සීමා කළ හැකිය.

2. නිදහස සීමා කිරීම
යෝජිත නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකම් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් වන බව පෙනේ. රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් පාලනය කිරීම සහ අදහස් එක්රැස් කිරීමට සහ ප්‍රකාශ කිරීමට පුරවැසියන්ගේ අයිතිවාසිකම් පාලනය කිරීම මගින් මෙය ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරනු ඇතැයි සිවිල් සමාජය බිය පළ කරයි.

3. අනුපිටපත් මුල්‍ය අධීක්ෂණය
මූල්‍ය විෂමාචාරයන් නිරීක්ෂණය කිරීම සඳහා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය වැනි ආයතන දැනටමත් තිබේ. නව නීතිය මගින් අනවශ්‍ය අනුපිටපත් හඳුන්වා දිය හැකි අතර, රාජ්‍ය නොවන සංවිධානවලට ක්‍රියාත්මක වීමට අපහසු වේ.

4. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සහාය
විශේෂයෙන්ම අර්බුද වලදී අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය දැක්වීමේදී රාජ්‍ය නොවන සංවිධාන අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. වැඩිවන සීමාවන් සමඟ, රාජ්‍ය නොවන සංවිධානවලට ආර්ථික දුෂ්කරතාවලින් සහ සමාජ අසාධාරණයෙන් පීඩාවට පත් වූවන්ට ඵලදායී ලෙස උපකාර කිරීමට නොහැකි විය හැකිය.

රාජ්‍ය නොවන සංවිධාන තර්ක කරන්නේ ඉහත සීමාකාරී ක්‍රියාමාර්ග පනවනවාට වඩා ඔවුන් සමාජයට කරන දායකත්වය රජය විසින් හඳුනාගෙන ඊට සහාය දිය යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ, සිතීමේ සහ ඇසුරේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සුබසාධනය සහ සමාජ ප්‍රගතිය සඳහා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය අතිමහත්ය. රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් වියදම් කරන්නේ කොතැනද සහ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට පනතක් ගෙන එමෙහි ගැටළුවක් නොමැති අතර ඒ හරහා මානව අයිතීන්ට බලපෑමක් නොවිය යුතුය.

Social Sharing
අවකාශය නවතම පුවත්