තරුණයන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

රන්මාල සොරකමක් සම්බන්ධව නිවැරදි විමර්ශණයකින් තොරව අත්අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් තරුණයන් දෙදෙනෙකුට සිදු කළ කෘෘර හා අමාණුෂික පහරදීමකට විරෝධය පළකරමින් පමුණුගම පොලීසියට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ප්‍රදේශවාසීන්ගේන පසුගියදා එල්ල විය.

පසුගිය 24 දා පමුණුගම කැපුම්ගොඩ පදිංචිව සිටි 24 හැවිරිදි නිරාශ් මධුශංක හා පමුණුගම සෙත්තප්පාඩුවේ පදිංචි 20 හැවිරිදි ඇන්ටන් දිල්ශාන් නැමැති තරුණයින් දෙදෙනා තම සේවා ස්ථානයේ සේවය කරමින් සිටි අවස්ථාවේ දී එහි පැමිණි පමුණුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මේ තරුණයින් දෙදෙනාට පහරදී ඔවුන්ව අත්අඩගුවට ගෙන පොලිස් ස්ථානය වෙත යන අතරතුර හා ඉන් පසුව පමුණුගම පොලිස් ස්ථානයෙදිත් රන් මාල සොරකමක් පිළිබදව විමසමින් පහරදී තිබේ.

මෙම කෘෘර ක්‍රියාවට එරෙහිව ප්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාවය හේතුවෙන් ඔවුන්ගේ පදිංචියට අයත් පොලිස් වසම වන දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා රෝහල්ගත කෙරිණ. මේ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමට මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා මැදිහත් වී ඉහත පහරදීමට සම්බන්ධ පොලිස් නිළධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පහරදීම හේතුවෙන් නිරාශ් නැමැත්තාගේ කණ් බෙරය තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර, ඇන්ටන් දිල්ෂාන් නමැති තරුණයාගේ වම් ඇසෙහි පෙනීම දුර්වල වී ඇත. ඒ හේතුවෙන් දින දෙකක් රාගම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගැනීමටත් සිදුව ඇති බවත් වාර්තා වේ. මේ වනවිට පහර කෑමට ලක්වූ තරුණයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

 

Social Sharing
නවතම පුවත්