සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මාධ්‍ය භාවිතව පිළිබඳව වර්තමානයේ විවිධ කතිකාවන් මතුව තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රමවේදයේ ඇති අසමානතාව සහ පරස්පරතාවයි. ජනමාධ්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා මුරබල්ලකු ලෙස ක්‍රියා කළ යුතු වුවත්, වර්තමානයේ මාධ්‍ය මෙහෙයවනු ලබන්නේ එකී මාධ්‍යකරණ ව්‍යාපාරික ප්‍රජාවගේ පටු ව්‍යාපාරික අරමුණු උදෙසාය. එනම් මාධ්‍ය විසින් ජනතා ප්‍රශ්න ලාභ ඉපැයීම උදෙසා මෙහෙයවයි. විකුණා දමයි. ඝාතන, අපයෝජන වැනි අපරාධ සහ සියදිවි නසා ගැනීම් වැනි සිදුවීම් මිනිසුන්ගේ මනාපය ලබා ගැනීම උදෙසා විකුණා දමයි. මෙය ප්‍රධාන වශයෙන් වර්තමාන සමාජයේ යහපැවැත්මට විශාල ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ. ‟මහජන පරිභෝජනය සඳහා විකුණන එවැනි ප්රවෘත්ති, දැනුම්වත් කිරීම, සංවේදී සංවාදයක් පෝෂණය කිරීමට වඩා විනෝදාස්වාදය සඳහා හේතු වී තිබේ. මෙම ඛේදජනක සිදුවීම් කෙරෙහි අධික අවධානය යොමු කිරීම මාධ්‍ය සාක්ෂරතාව පිරිහීමට ද දායක වේ. මන්ද මහජනයා විවේචනාත්මක, සදාචාරාත්මක පුවත්පත් කලාවට වඩා සංවේදී සිරස්තලවලට හුරුවී සිටින බැවිනි. මීට අමතරව නරඹන්නන්ගේ චිත්තවේගීය හැසිරවීම මහජන විඥානය ඛාදනය කර, සමාජ ප්රචණ්ඩත්වයේ සංකීර්ණතා සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ විවේචනාත්මක චින්තනය සහ දැනුම්වත්භාවය අඩු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍ය, අධ්‍යාපනය සහ සමාජ වෙනසක් සඳහා වේදිකාවක් නොව අවධානය වෙනතකට යොමු කිරීමේ මෙවලමක් බවට පත්ව තිබේ. ඉතාම මෑතකදී නෙළුම් කුලුන හා සම්බන්ධ සිදුවීම සැලකූවිට මෙම මාධ්‍ය ඛේදවාචකයේ බරපතළ අගතිය පැහැදිලි කර ගත හැකිය. ඉහළ අවධානය ලබා ගැනීම උදෙසා මාධ්‍ය විසින් නැවත නැවතත් අදාළ සිදුවීමට ලක් වූ දරුවා ‟උස්සා පොෙළාවේ ගසා” නැවත නැවතත් ඝාතනයට පහසුකම් සැලසූ ආකාරය පිළිබඳව මාධ්‍යයේ සදාචාර බව පිළිබඳව බරපතළ ගැටලු මතු කර තිබේ.
මාධ්‍යයේ වගකීම
සියදිවි නසාගැනීම් සහ අපරාධ පිළිබඳ මාධ්‍ය වාර්තා සංවේදීභාවය, නිරවද්‍යතාව සහ සන්දර්භය කෙරෙහි අවධානය යොමු කරමින් සංවේදීභාවය සහ සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා සකස් කළ යුතුය. සියදිවි නසාගැනීම් හෝ ප්‍රචණ්ඩකාරී අපරාධ ක්‍රියා උත්කර්ෂයට නැංවීම හෝ රොමැන්තිකරණයක් ඇති නොකිරීමේ වැදගත්කම අවධාරණය කරන, මාර්ගෝපදේශ පිළිපැදීම මාධ්‍යවේදීන්ට ඉතා වැදගත් වේ. අවදානමට ලක්විය හැකි පුද්ගලයන් පීඩාවට පත් කළ හැකි ග්‍රැෆික් විස්තර නොමැතිව වාර්තා සත්‍ය තොරතුරු සැපයිය හැකිය. මීට අමතරව, මානසික සෞඛ්‍ය සහාය සඳහා සම්පත් ඇතුළත් කිරීම, සියදිවි නසාගැනීමේ හෝ අපරාධ සිදුවීම් කොපි කිරීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ. මානසික සෞඛ්‍යය, සමාජීය සාධක හෝ පද්ධතිමය ගැටලු වැනි නොපෙනෙන ගැටලු සාකච්ඡා කිරීමෙන් සිදුවීම් සන්දර්භගත කිරීම වඩාත් දැනුම්වත් මහජන සංවාදයක් පෝෂණය කළ හැකිය. තව ද, අපකීර්තියට පත්වීම වළක්වා ගනිමින් වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පෞද්ගලිකත්වයට ගරු කිරීමට කටයුතු කළ හැකිය.
සදාචාර විරෝධී සංවේදී වාර්තාකරණය
කෙසේ වුවත් සියදිවි නසාගැනීම් සහ අපරාධ වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කටයුතු කිරීම මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. මෑත වසරවලදී බොහෝ වාර්තා මෙම ඛේදවාචක සංවේදී කර ඇති අතර, බොහෝවිට වින්දිතයින්ගේ පවුල් සහ ප්‍රජාවන්ට මානසික හා සමාජීය බලපෑම නොසලකා හැර ඇත. ග්‍රැෆික් විස්තර කෙරෙහි අවධානය යොමු කිරීමට සහ සංවේදී සිරස්තල භාවිත කිරීමට ඇති ප්‍රවණතාව මෙම ගැටලුව උග්‍ර කර තිබේ. මෙම සිදුවීම් උත්කර්ෂයට නැංවීම හෝ සුළුකොට සැලකීම අනාගතයේදී අදාළ සිදුවීම් වර්ධනයට තුඩු දෙනු ඇත. මෙම සදාචාර විරෝධී වාර්තාකරණය බලපෑමට ලක්වූවන්ගේ පෞද්ගලිකත්වය සහ අභිමානය උල්ලංඝනය කරමින් වින්දිතයාගේ ආදරණීයයන් නැවත නැවතත් කම්පනයට පත් කරයි. එපමණක් නොව, භාවිත කරන ක්‍රම පිළිබඳ පැහැදිලි විස්තරයක් සහ කොපි කැට් (Copycat effect) සියදිවි නසාගැනීම් ඇති කිරීමේ භයානක අවදානම ද මතු කරන ශ්‍රී ලාංකේය මාධ්‍ය වගකිවයුතු පුවත්පත් කලාවේ ගෝලීය ප්‍රමිතීන්ට ද පටහැනිව කටයුතු කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන විසින් නියම කරන ලද මාර්ගෝපදේශ, සියදිවි නසා ගැනීම් සහ අපරාධ වාර්තාකරණයේදී සිදු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් සහ සංවේදීත්වය වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. ඛේදවාචකය අනුකරණය කළ හැකි ආකාරයට ඛේදවාචකය කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, මාධ්‍යවේදීන් සත්‍යවාදී, සංවේදී නොවන ආකාරයක දී සියදිවි නසාගැනීමක් වාර්තා කළ යුතු බව සඳහන්ව තිබේ. මඩකළපුවේ 19 හැවිරිදි පාසල් සිසුවකු පාසල් පරිශ්‍රය තුළදී සියදිවි හානි කර ගැනීම, විද්‍යා විෂය ධාරාවේ 18 හැවිරිදි සිසුවකු, ගම්පොළ, කිළිනොච්චි ප්‍රදේශයේදී සිසුවියන් දෙදෙනෙකු, කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 15 හැවිරිදි ළමුන් දෙදෙනෙකු, ඉතා මෑතකදී නෙළුම් කුලුන හා සම්බන්ධ සිදුවීම මෙන්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ සහ විවිධ පුද්ගලයන්ගේ සියදිවි නසා ගැනීම් වාර්තා වූ ආකාරය සැලකීමේදී මාධ්‍ය, සිය සදාචාරය හෝ අවම වශයෙන් මනුෂ්‍යත්වය හෝ නොසලකා වාර්තා කළ ආකාරය ජන සමාජය කම්පනයට පත් කරනු ලැබීය. ඒ වෙනුවට, ඔවුන් බොහෝවිට සියදිවි නසාගැනීමේ ක්‍රියාව සංවේදී කර අදාළ ක්‍රමවේද ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙම ප්‍රවේශය බලපෑමට ලක්වූවන් (පවුලේ සමීපතමයන්) අත්විඳින වේදනාව සුළු කොට සලකනවා පමණක් නොව, සියදිවි නසා ගැනීමට සිතන අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට නැවත නැවත මතක් කරවීමේ අවදානම ද ඇත. පර්යේෂණවලට අනුව, සංවේදී ආවරණයක් “සියදිවි නසාගැනීමේ බෝවීම” (Suicide contagion) ට හේතු විය හැකිය. එවැනි වාර්තාවලට නිරාවරණය වීම සංවේදී ජනගහනය අතර සියදිවි නසාගැනීමේ හැසිරීම්වල සම්භාවිතව වැඩි කරයි. මේ අනුව වාර්තාකරණයේ සංවේදිතාවක් නොමැතිකම මහජන සෞඛ්‍යයට සෘජු තර්ජනයක් එල්ල කරයි.
අපරාධ වාර්තාකරණය
අපරාධ වාර්තාකරණය හැසිරවීම ද ඒ හා සමානව ගැටලුසහගතය. මාධ්‍ය නිතර ප්‍රචණ්ඩකාරී අපරාධ සංවේදනය කරයි. වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දුක් වේදනා, සංදර්ශන බවට පත් කරයි. එසේ කිරීමෙන් ඔවුන් වින්දිතයන් නිරාවරණය කර, මහජනයා අතර භීතියේ සහ සංවේදිතාවයේ මානයක් නිර්මාණය කරයි. බොහෝ අවස්ථාවන්හිදී, මාධ්‍ය ආයතන අපරාධවලට ගොදුරුවූවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නම්, ඡායාරූප සහ ලිපින පවා ප්‍රකාශයට පත් කරයි. කොටකෙතන ද්විත්ව ඝාතනය, සේයා සදෙව්මි ඝාතනය, විද්‍යා සිවලෝඝනාදන් ඝාතනය, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය, කළුතර පාසල් සිසුවිය මියගිය සිදුවීම, රත්ගම වෙඩි තැබීමේ සිද්ධිය, කහවත්තේ මව ඝාතනය (දියණිය විසින් මව ඝාතනය කළැයි වාර්තා කිරීම), මොනරාගල දී තරුණියක් ඝාතනය වැනි සිදුවීම් වාර්තාකරණය කළ ආකාරය විමසීමේදී, ආකර්ෂණීය සිරස්තල, විචිත්‍රවත් විවරණ සහ සත්‍යාපනය නොකළ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට ඉක්මන් වීම සමඟ විනෝදාස්වාදයට සමාන ආකාරවලින් ආවරණය කර තිබිණ.
නැරඹීම සඳහා ප්රවෘත්ති
අපරාධයක් පිළිබඳව වාර්තා කර පළමුවැනියා වීමේ තරගය අද වනවිට ප්රවෘත්ති වටිනාකම් සඳහා ප්‍රබල අවිශ්වාසයක් සහ සැකයක් වර්ධනය කර, හුදෙක් ප්රවෘත්ති “ —News for Views” බවට පරිවර්තනය කර තිබේ. මාධ්‍යයේ “අකල් විනිශ්චය” මහජන මතයට බලපෑම් කළ හැකි අතර අසාධාරණ ලෙස කීර්ති නාමයට හානි කළ හැකි අතරම නීතිමය ක්‍රියාමාර්ගවල සාධාරණත්වය ද අනතුරේ හෙළයි. බොහෝවිට අපරාධ හෝ සියදිවි නසාගැනීම්වලට සම්බන්ධ පුද්ගලයන් නිසි සාක්ෂි නොමැතිව “මානසික වශයෙන් අස්ථාවර” ලෙස සංවේදී කිරීම හෝ අපකීර්තියට පත් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකාව වැනි මානසික සෞඛ්‍ය ගැටලු තවමත් වරදවා වටහාගෙන සහ අපකීර්තියට ලක්කර ඇති සමාජයක, එවැනි වාර්තාකරණය හානිකර ආඛ්‍යාන ශක්තිමත් කරන අතර මානසික සෞඛ්‍යය පිළිබඳ අර්ථවත් මහජන කතිකාවත වළක්වයි. නිවැරදි, සමතුලිත සහ දයානුකම්පිත වාර්තාකරණයක් නොමැතිකම නිසා දරිද්‍රතාව, ගෘහස්ථ අපයෝජනය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ ප්‍රතිකාර නොකළ මානසික රෝග වැනි සියදිවි නසාගැනීම් සහ අපරාධවලට බොහෝවිට පාදක වන ගැඹුරු, පද්ධතිමය ගැටලු මහජනතාවට අවබෝධ කර ගැනීමේ බාධා ඇති කරයි.
මහජනතාවගේ කාර්යභාරය
සියදිවි නසාගැනීම් සහ අපරාධ, මාධ්‍යයේ වාර්තා වන ආකාරය අවබෝධ කර ගැනීමේදී මහජනතාවට සැලකිය යුතු වගකීමක් ඇත. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, පුද්ගලයන් ප්රවෘත්ති ආයතන විසින් ඉදිරිපත් කරන තොරතුරු විවේචනාත්මකව ඇගයීමට ලක් කළ යුතුය. සංවේදී වාර්තාකරණය මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර කිරීමට සහ ප්‍රචණ්ඩත්වයට හෝ ස්වයංව හානිකර ගැනීමට දායක විය හැකි බව හඳුනාගත යුතුය. ප්‍රධාන සිරස්තලයෙන් පමණක් අදාළ සිදුවීමට වටිනාකමක් එකවර ලබා නොදී, අදාළ සිදුවීම් වටා පවතින සැබෑ තත්ත්වය සෙවීමට මහජනතාව පෙලඹිය යුතුය. සංවේදීභාවයට වඩා නිරවද්‍යතාවට ප්‍රමුඛත්වය දෙන වගකිවයුතු වාර්තාකරණ භාවිතය සඳහා මහජනයා ද පෙනී සිටිය යුතුය. අදාළ ප්රවෘත්ති වාර්තාව ගෞරවනීය ද, සමබර ද, ක්‍රියාව උත්කර්ෂයට නංවා තිබේ ද හෝ රොමෑන්තිකරණයට ලක් නොකරන්නේ ද යන්න ප්‍රශ්න කළ යුතුය. සිදුවීමට වඩා විසඳුම්, මානසික සෞඛ්‍ය උපදෙස් සහ වැළැක්වීමේ පියවර කෙරෙහි අවධානය යොමු කරන ප්රවෘත්ති කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙයට ඇතුළත් වේ.
දරිද්‍රතාව, අසමානතාව හෝ මානසික සෞඛ්‍ය ගැටලු වැනි අපරාධවලට යටින් පවතින හේතු ගවේෂණය කරන ගැඹුරු වාර්තාකරණයක් මහජනතාව විසින් සෙවිය යුතු අතර, සම්පූර්ණ සන්දර්භය අවබෝධ කර නොගෙන පුද්ගලයන්ට අපහාස කිරීම වැනි හානිකර තොරතුරු මුදා හැරීමට දායක වීමෙන් වැළකීමට කටයුතු කළ යුතුය. සදාචාරාත්මක සහ වගකිවයුතු ජනමාධ්‍ය කලාවට ප්‍රමුඛත්වය දීමෙන් සහ සමාජ මාධ්‍යවල හානිකර හෝ සංවේදී අන්තර්ගත බෙදාගැනීමෙන් වැළකීම මඟින් පුද්ගලයන්ට වඩාත් හෘදසාක්ෂියට එකඟව සහ ගෞරවනීය මාධ්‍ය භාවිතවකට දායක විය හැකිය.
ඒ අනුව මාධ්‍යයේ පැවැත්ම ඇත්තේ මහජන කතිකාව සහ සංජානනය හැඩගස්වා ගැනීමේ හැකියාව අනුවය. නමුත් වගකිවයුතු ජනමාධ්‍ය කලාවට වඩා සංවේදී බව තෝරා ගැනීමෙන්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන මහජනතාව දැනුම්වත් කිරීම සහ ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හරිමින් සිටියි. ජනමාධ්‍ය සැබවින්ම මහජන යහපතට සේවය කරන බවත්, එයට ලක්වන පුද්ගලයන්ගේ ගෞරවය ආරක්ෂා කරන බවත් සහතික කිරීම සඳහා, (විශේෂයෙන් සංවේදී විෂයයන් සම්බන්ධයෙන්) වාර්තාකරණයේ සදාචාරාත්මක ප්රමිතීන් බරපතළ ලෙස සංශෝධනය කිරීමට කාලය පැමිණ තිබේ.
ආචාර්ය නයනා සුරවීර