සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක

ඕනෑම ජාතියකට අයත් මිනිසෙකු මිය ගිය විට ඔහුගේ ආසන්න ඥාතීන් ව්‍යවසනකාරී අත්දැකීමකට, කම්පනයකට පත්වේ. පසුව එම තැනැත්තා මිය ගිය ආකාරය තේරුම් ගැනීමත්, එය පිළිගැනීමත්, ඔහුගේ මෘත දේහය දැකීමත්, අවමංගල්‍ය උත්සවයක් පවත්වා දේහයට අවසන් ගෞරව දැක්වීමත් පසුව එම මිය ගිය තැනැත්තා වෙනුවෙන් තමන් අදහන ආගම අනුව පුද සත්කාර පැවැත්වීමත් මත මුලින් ඇතිවන ව්‍යවසනකාරී අත්දැකීම හා කම්පනය ක්‍රමයෙන් ක්ශය වී නැවත ප්‍රකෘර්ති තත්ත්වයකට එම ආසන්න ඥාතීන් පත්වේ. නමුත්, තම ආසන්න ඥාතියෙකු අතුරුදහන්වූ විට එම තැනැත්තාට වූ දෙයක් පිළිබඳව දැනගැනීමට නොහැකි වූ විට, එය තේරුම් ගැනීමට නොහැකි වූ විට, ඔහුගේ දේහය නොදැකීම නිසා ඔහු ජීවතුන් අතර ද නැද්ද යන්න පිළිබදව නිගමනයක පැමිණීමට නොහැකි වූ විට, එම සිදුවීම පිළිබඳව රාජ්‍යයෙන් හෝ සමාජයෙන් සාධාරණ විනිශ්චයක් ලබා නොදෙන තත්ත්වයක් තුළ පවුලේ ආසන්න ඥාතීන්ට ඇති කළ ව්‍යවසනකාරී අත්දැකීම හා කම්පනය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් නොකර ඔහු හෝ ඇය මැරෙන තුරාවටම එය පවත්වාගෙන යනු ලබයි.

එමෙන්ම, එසේ පුද්ගලයෙකු අතුරුදහන්කරවීම තුලින් අයුක්තිය එරෙහිව කතා කිරීම හෝ පෙනී සිටීම තුලින් තමන්ටත් එවැනි අනතුරක් ඇති විය හැකි බවට එම පවුලේ සමාජිකයන්ට මෙන්ම සමාජයට ද විශාල හා බැරෑරුම් පණිවුඩයක් ද ලබා දේ. එම හේතුව මත එම ඥාතීන් මෙන්ම මේ පිළිබදව අවබෝධයක් ඇති සමාජය ද අයුක්තිය අසාධාරණය ඉදිරියේ කතා නොකිරීමටත්, නිහඬව හා කරබාගෙන සිටින සමාජයක් නිර්මාණය කිරීම මේ මිනිසුන් අතුරුදහන්කරවීම් වල යෙදෙන බලවේගයන් හි දේශපාලණ අපේක්ෂාව. එ් නිසා මිනිසුන් අතුරුදහන්කර තැබීම සමස්ත සමාජයේ කොන්ද කඩා, ඔවුන් මුළුගන්වා තැබීමේ සාර්ථක උපක්‍රමයක් ලෙස ද භාවිතා වේ.

ශ්‍රී ලංකාව රජය අතුරුදහන්කරවීම් සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. නිදහසින් පසුව ඇතිවූ විවිධ ජන නැගීටීම් මර්ධනය කිරීම සදහා ජර්මනියේ නාසිවාදීන් මෙන් නොවුවත්, අතුරුදහන්කරවීම් සාර්ථකව එවක සිටි පාලකයන් විසින් යොදාගත් බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. පසුගිය දශක පහක කාලය ස්ව කැමැත්තෙන් තොරව පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කරවීම ශ්‍රී ලංකා රාජ්‍ය තුළ ඉතා ඉහළ අගයක් ගෙන තිබුනි. විවිධ පර්යේෂණ හා විමර්ෂණ සංවිධාන මෙම අතුරුදහන් කරවීම් හෝ පැහැරගෙන යාම් පිළිබඳව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇතත් ඒ සෑම ලේඛනයකම අගය රටේ ජනගහනයෙන් 1.5% ට වඩා ඉහළ අගයක් ගෙන තිබුනි. මේ හේතුව මත 2009 වර්ෂය වැඩිම අතුරුදහන්කරවීම් ප්‍රමාණයක් වාර්තා වූ රට ලෙස ද ශ්‍රී ලංකාව පත් විය. මෙය ටිමෝරය, බොලිවියාව, මියන්මාරය, වැනි ලෝකයේ රටවල් කිහිපයකට දෙවැනි වූ අගයකි. එසේ හෙයින් අතුරුදහන් කරවීම් හා පැහැරගෙන යාම ශ්‍රී ලංකා රාජ්‍ය තුළ බරපතල සමාජ ගැටඵවක් බව පිළිගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ වරින්වර සිදු වී අතුරුදහන්වූවන් සිහිකිරීම පිණිස ස්මාරක දෙකක් දකුණේ ඉඳි විය. ඉන් එකක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල 1999 දෙසැම්බර් 10 වන දින ගොඩනැගූ අතර එය චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ අතින් නිම විය. “අහිංසකයන්ගේ ආරාමය” නම් වූ එම ස්මාරකය විශේෂයෙන් ඇඹිලිපිටියේ සිදු වූ කෲර සිසු (34) ඝාතනය සිහිවීම පිණිස එවක ජනාධිපතිනයව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනාකය මියගේ මැදිහත්වීම මත, රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිර්මාණය විය.

දෙවැනි ස්මාරකය 1989 ඔක්තෝබර් 27 වන දින කටුනායක නිදහස් වෙලද කළාපයේ සේවය කළ රංජිත් හා ඔහුගේ නීති උපදේශක ලයනල් සිහිකිරීම පිනිස ඔවුන් පහැරගෙන ගොස් මරා පුළුස්සා දැමුණු සීදුව රද්දොළුගම හන්දියේ ඉදි කෙරෙිනි. එයට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුනි. දකුණු කොරියාවේ මැයි 18 ව්‍යාපාරය හා ආසියානු මානව හිමිකම් කොමිසමේ සහයෝගය ඇතිව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් ඉදිරි කරන ලදී.

බත්තරමුල්ලේ අහිංසකයන්ගේ ආරමය විවෘත කළ දිනය වූ 1999 දෙසැම්බර් 10 වන දින මෙම ස්මාරකය සදහා මුල් ගල තැබුවේ,  පැහැරගෙනගොස් මෙම ස්ථානයේ දී මරා පුළුස්සා දමා තිබූ ‍රංජිත් ගේ ආදරවන්තිය වූ ජයන්ති දන්දෙනිය මිය විසින් වීම විශේෂත්වයකි. මුල් ගල තැබීමෙන් මාස දෙකක් ගත වීමට මත්තෙන් මෙම ස්මාරකය 2000 පෙබරවාරි 04 වන දින අතුරුදහන්වුවන්ගේ සිහිවටනය නමින් එවකට ධීවර ඇමතිව සිටි මහින්ද රජපක්ෂ මහතා අතින් විවෘර්ථ කර මහජන අයිතියට පවරන ලදී. මෙය ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ නිර්මාණයක් විය.

නමුත්, 2000 වසරේ සිට ආරම්භ වූ මෙම අතුරුදහන්වූවන් සිහිකිරීමේ සංස්කෘතියට වැඩි දුරක් යන්නට බැරි විය. බලයට පත් වූ විවිධ රජයනුත්, බහුතර සමාජයත් මෙහි ඇති කටුක යථාර්ථය කතා කිරීමට හෝ සත්‍ය දැන ගැනීමට බිය වූහ. උතුරු නැගෙනහිර වර්ධනය වෙමින් පැවති මර්ධනකාරී තත්ත්වය තව දුරටත් එසේම පවත්වා ගෙන යාමට එය ගැටළුවක් විය හැකි බව බහුතර සමාජ මතය විය.

ඒ වටපිටාව තුළ 1999 දෙසැම්බර් 10 ඇඹිලිපිටියෙ අතුරුදහන්වුවන් දරුවන් සිහිකිරීම සදහා මිලියන හතරකට වැඩි මහජන මුදල් වියදම් කරමින් ඉදිකළ “අහිංසකයන්ගේ ආරාමය” වල්බිහි වෙන්නට ඉඩ හැර, පසුව එම ස්ථානයේ ස්ථාපිත කළ මල්පැල විකුණුම් මධ්‍යස්ථානයේ නිල නොවන වැසිකිලයක් බවට පත්වීමට ඉඩ කඩ ලබා දී තිබුනි. ඉන් ටික කාලයකට පසුව රද්දොළුව අතුරුදහන්වූළුන්ගේ සිහිවටනය විවෘත කළ මහින්ද රජපක්ෂ රජය විසින් අහිංසකයින්ගේ ආරාමය සහමුලින්ම පොලවට සමතලා කර, එවට ආරක්ෂක ලේකම්ව සිටි ගොඨාභය රාජපක්ෂගේ දියත උයන නැමති නගරාලංකාර ව්‍යපෘතියක් එම භුමිය තුල ස්ථාපිත කරනු ලැබීය. අහිංසකයින්ගේ ආරාමය විනාශ කර දැමීම සම්බන්ව රජයෙන්, විපක්ෂයෙන්, සිවිල් සමාජයෙන් හෝ විශාල විරෝධයක් එවකට පැවති රජයට එල්ල නොවීය.

“අහිංසකයන්ගේ ආරාමය” පොලවට සමතලා කළ අවධියේ දීම සීදුව රද්දොළුවේ ඉදිරිකර තිබූ අතුරුදහන්වුවන්ගේ ස්මාරකය කඩා ඉවත් කිරීම සදහා ද පිඹුරුපත් සැකසුනි.  එයට මූලිකත්වය ගනු ලැබුවේ වර්තමානයේ කොළඹ අගරදගුරු කාදිනල් මැකලම් රංජිත් හිමිපානන් වීම මෙහි විශේෂත්වය විය. ඔහුගේ ඉල්ලීම වූයේ සීදුව ශාන්ත සිසිලියා දේවස්ථානය ඉදිරිපිට ඉදි වූ මෙම ස්මාරකය ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙසත්, ඒ සදහා ඉඩමක් හා ඊට යන සම්පුර්ණ වියදම් කතෝලික සභාව විසින් ලබා දීමට කටයුතු කරන බවයි. නමුත් ඊට එල්ල වූ දැඩි විරෝධතාවය නිසා පසුව එම ව්‍යාපෘතිය අතහැර දමනු ලැබුවත්, පල්ලිය විසින් මෙම ස්මාරකය වට තිබූ නිදහස් පරිසරය සම්පුර්ණයෙන් අවහිර වන සේ විශාල කොන්ක්‍රීට් තාප්ප යොදා මෙම ස්මාරක භූමිය කොටුකරනු  දමනු ලැබීය. එමෙන්ම, මෙම ස්මාරකය ගොඩනැගූ දවසසේ සිට මෙහි පැමිණෙන දෙමාපියන්ට තම අතුරුදහන්වු ඥාතියා සිහිකර මල් පහන් තැබීමෙන්  පසුව පල්ලිය භූමියට ඇතුලුවීමට තිබු අවකාශය සහමුලින් අහුරා දැමීමට කතෝලික සභාව කටයුතු කරනු ලැබීය.

දශක ගණනාවක සිට තවමත් විසදී නැති මානව වර්ගයට එරෙහිව පවතින ගැටළුවක්ව පවතින ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්ණය සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ මොහොතක එවැනි දේ ලංකාවේ සිදුවූ බවත්, එහි ඇති මතකය පවා අමතක කර දැමීමට උත්සාහ කරන තත්ත්වයක් තුල 1991 සිට සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, උතුරේ හා දකුණේ අතුරුදහන්වු සියළුම දෙනා සිහිකිරිමත්, නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැලැක්වීමත් සඳහා අවුරුදු 34 ක් තිස්සේ අඛන්ඩව හා වාර්ෂිකව අතුරුදහන්වුවන් සිහිකර සදහා අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම අප අගය කළ යුතුය.

එමෙන්ම, අතුරුදහන්කරවීම ශ්‍රී ලංකා භූමිය තුලින් සහමුලින්ම අතුගා දැමීම සදහා මේ රටේ ප්‍රගතිශීලීන් විසින් ඉල්ලා සිටි අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා වූ කාර්යාලය ස්ථාපිත කිරීමත්, එම පවුල් වෙත සහන සැලසීම සදහා වන්දි කාර්යාලය ස්ථාපිත කිරීමත්, අතුරුදහන්කරවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියට අත්සන් තැබීම හා ඒ අනුව අතුරුදහන්කරවීම ශ්‍රී ලංකාව තුළ අපරාධ වරදක් බවට පත්කිරීමත් පසුගිය කාලය තුළ ලැබූ යම් ජයග්‍රහන්යන් කිහිපයක් ලෙස සැලකිය හැක.

නමුත්, මෙම යාන්ත්‍රණයන් තවමත් විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක නොවීමත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ දී එකගවී ඇති ආකරයට සත්‍ය හා යුක්තිය සොයා ගැනීමට අවශ්‍ය අනෙකුත් යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම දිනෙන් දින කල් දැමීම, මේ ප්‍රශ්ණය සදහා කඩිනම් විසදුම් ලබා දීම සදහා අවශ්‍ය රජ්‍ය අනුග්‍රහය ලබා නොදීම නිසා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තව දුරටත්, කළකිරීමකටත් විශාල බලාපොරොත්තු කඩවීමකටත් පැමිණ තිබේ. මේ දෙමාපියන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම දරුවන්ට වුයේ කුමක්ද යන්න දැනගැනීමට නොහැකිව මිය ගොස් ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් රෝගීව හෝ වයෝවෘද්ධව තමන්ට තනිවම කිසිවක් කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ ගැටළුවට විසදුම් ලබාදෙන බවට පොරොන්දු ලබා දී පැමිණි කිසිදු රජයක් මේ ගැටළු විසදීම සදහා සැබෑ උවමනාවකින් කටයුතු නොකිරීම ඔවුන්ගේ කළ කිරීම දෙගුණ තෙගුණ කර ඇත.

රටේ ඇති වූ මෙම තත්ත්වයන් පිළිබදව පැහැදිලි අවබෝධයක් ඇති, මුල්  අවස්ථාවේ මෙහි වින්දිත පාර්ශවයන් නියෝජනය කළ, 1971 හා 1989 කාලයන් හි පැවති බරපතල ප්‍රශ්ණයන්ට මුහුණ දෙමින් තම සාමජික, පාක්ෂිකයන් මෙන්ම, උදව්වට සිටි පිරිසක් වෙත ද දැඩි මර්ධනය දියත් වෙන අවස්ථාවේ දී පවා විශාල අත්දැකීම් සම්භාරයක් සහිතව ක්‍රියාත්මක වූ ව්‍යාපාරයක් වර්තමානයේ දී රටේ බහුතර ජනතාවක් විසින් බලයට පත්කර ඇති තත්ත්වයක පසුගිය රජයන් විසින් පැත්තකට ඇද දමා තිබූ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුවන්ගේ ගැටළුවට සාධාරණ හා යුක්තිසගත කඩිනම් විසදුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

26.10.2024

Social Sharing
අවකාශය නවතම විශේෂාංග