ආරුගම්බේ මොකද වෙන්නේ?

arugam bay threat

-BBC-

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරනු ලැබී ය.

ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව එම කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සිය කාර්ය මණ්ඩලයට මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමෙරිකානු පුරවැසියන්ට ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් නිකුත් කර ඇති බව ය.

‘ආරුගම්බේ ප්‍රදේශයෙන් ඉවත් වන්න’ – ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය

arugam bay threat

ආරුගම්බේ ප්‍රදේශයෙන් සහ ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර වෙරළබඩ ප්‍රදේශවලින් වහා ම ඉවත් වන ලෙස ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් මෑත කාලීනව ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හීබෲ භාෂාවෙන් සිය X ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ.

arugam bay threat

ඔක්තෝබර් 7 ලැබුණු බුද්ධි තොරතුර කුමක් ද?

විදේශකයින් ඉලක්ක කර කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔක්තෝබර් 7 වැනිදා බුද්ධි තොරතුරක් ලද බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේය.

තවත් තානාපති කාර්යාල කිහිපයකින් අනතුරු ඇඟවීම්!

ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය සහ පොලිසිය විසින් කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක් විසින් සිය පුරවැසියන්ට නිවේදනයන් නිකුත් කර තිබිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය සහ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන සිය පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

‘ආරුගම්බේ ඊශ්‍රායල් ගොඩනැගිල්ලක්?’

arugam bay threat

ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ඔක්තෝබර් 23 වන දා පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළේ ය.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල් ජාතිකයින් රැඳී සිටින ගොඩනැගිල්ලක් ඇති බවත් එහි වෙසෙන පිරිසට යම් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ය.

”ආරුගම්බේ ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල් ජාතිකයින් විසින් ස්ථාපිත කර තියෙන ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. සාමාන්‍යයෙන් ආරුගම්බේ සහ පොතුවිල් කියන ප්‍රදේශ ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා, සර්ෆින් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් තියෙන නිසා.”

”පසුගිය දින කිහිපයේදී තොරතුරු ලැබිලා තියෙනවා මේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයින්ට යම් අනතුරක් වෙන්න පුළුවන් කියන කාරණය. මේ හේතුවෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදලා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය කාලයේදී සිදුකර ගෙන ගියා.”

”අද වෙද්දී එම ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ නාවික හමුදාව සහ විශේෂයෙන් බුද්ධි අංශ අවශ්‍ය ස්ථානවලට යොදවලා ආරක්ෂාව තර කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයට අමතරව අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. අපි පොලිසියට දැනුම් දීලා තියෙනවා සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව ඉහළ මට්ටමක තබා ගන්න කියලා,” නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එම බුද්ධි තොරතුරු ලැබුණේ විදේශ රටකින් ද එසේත් නැත්නම් මෙරට බුද්ධි අංශවලින්දැයි විමසූ විට නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රතිචාර දැක්වූයේ, මෙලෙසිනි.

“ඒ සම්බන්ධව තොරතුරු මා සතුව නැහැ. මේ තොරතුර විදේශ රටකින් ආව ද, නැත්නම් මේ අපේ රටේ බුද්ධි අංශ වෙත ලැබුණු එකක් ද කියලා කියන්න බැහැ. නමුත් වැඩබලන පොලිස්පතිතුමාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙන්නේ ආරක්ෂාව වැඩි කරන්න කියලා,” ඔහු පැවසුවේය.

මේ අතර, ඊශ්‍රායල් ජාතිකයින් විසින් ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන බව කියන ව්‍යාපාර ගැන ද සමාජ මාධ්‍ය තුළ පළවී තිබේ.

ඒ, සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු සටහනක් තබා තිබූ අතර, ඔහු පළ කර ඇති ඡායාරූප ඔක්තෝබර් 16,17 දිනවලදී ගනු ලැබූ ඒවා බවට අප කළ විමසුමකදී තහවුරු කළේ ය.

arugam bay threat

සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක්

ඕනෑ ම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරන ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකතන අංකයට දැනුම් දීමේ අවස්ථාව ඔක්තෝබර් 23 වන දා සිට අවස්ථාව හිමි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලු ම පොලිස් ස්ථානවලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නිකුත් කරනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මැද පෙරදිග මෙන් ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන් ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් කර ඇත.

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නියැලෙන හෝටල් හිමියන්ට සිය පරිශ්‍රයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට සංචාරකයින්ට ගැටලුවක් ඇති නොවන ආකාරයට CCTV ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීම ද සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේය.

‘ආරුගම්බේ’ ජනප්‍රිය ඇයි?

arugam bay threat

කොළඹ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 412ක් දුරින් පිහිටා ඇති ආරුගම්බේ ප්‍රදේශය අයත් වන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි අම්පාර දිස්ත්‍රික්කයට ය.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරය ආසනන්යේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ සංචාරකයින් අතර වඩාත් ප්‍රකට වී ඇත්තේ, සර්ෆිං ක්‍රීඩාවටය.

එමෙන් ම, මුහුදේ කිමිදුම් සහ ස්කූබා වැනි ජල ක්‍රීඩාවන්හි යෙදීමට ද විදේශිකයෝ ආරුගම්බේ මුහුදු කලාපයට පැමිණීමට වැඩි රුචිකත්වයක් දක්වති.

2019 වසරේදී මෙරට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ආරුගම්බේ ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම අවම වූ අතර මේ වන විට එම ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම නැවතත් සක්‍රීය වෙමින් පවතී.

සංචාරකයින් වැඩියෙන් ම පැමිණි රටවල්

arugam bay threat

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර ඇති දත්ත අනුව, මේ වසරේ පළමු මාස 09 තුළදී මෙරට සංචාරය කිරීමට පැමිණි වැඩි ම විදේශිකයින් අයත් රටවල් අතර ඉන්දියාව, චීනය,රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව ප්‍රමුඛ ස්ථානයක පසුවේ.

මෙම වසරේ ගතවූ මාස 09 තුළදී ශ්‍රී ලංකාවට ඊශ්‍රායලයේ සිට සංචාරකයින් 20,515 දෙනෙකු පැමිණ ඇති අතර, ඇමෙරිකානු වැසියන් 43,678ක් සහ බ්‍රිතාන්‍ය වැසියන් 136,464ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර ඇති දත්තවල සඳහන් වේ.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග