හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

“මහින්දට දුන් වාහන 3ක් ආපසු ගනී” යනුවෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනුයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අතිරික්ත වාහන භාරදෙන ලෙස මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ 1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුවයි.

එම පනතට අනුව සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දබුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට තත් කාලයේ සපයන නිල ප්‍රවාහන හා වෙනත් සියලු පහසුකම් සලසා දිය යුතුයි.

මීට අමතරව 2010 මැයි 14 වනදා එවකට ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන්කරන උපරිම නිල වාහන සංඛ්‍යාව තුනක් බවයි.

ඒ අනුව අදාළ කටයුතු සිදුකර ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබු වාහන 16න් 8ක් දැනට භාරදී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වන විට පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

Social Sharing
නවතම පුවත්