හිටපු ජනපතිවරුන් තිදෙනෙකු හෙළි කළ පාලන සමයේ රහස්!

Former presidents shared their experiences

වරලත් ගණකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 16 වන දා පැවැත්විණි.

එහිදී, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන ආරාධිතයින් කළ ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එම සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනා ඔවුන්ගේ ධුර කාල තුළ මුහුණ දුන් සිදුවීම් හා අත්දැකීම් පිළිබඳව එහිදී අදහස් ප්‍රකාශ කළහ.

‘අපේ ඇමති කෙනෙක් කිව්වා නවනීදන්පිල්ලෙව කසාද බඳින්න තිබ්බ නම් හොඳයි කියලා’

රටේ පැවති සිවිල් යුද්ධයෙන් පසුව 2009 වසරේදී මෙරට සිටි නායකයින් විදෙස් රටවලට බොරු පොරොන්දු ලබා දුන් බවත් එම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී පැවසුවේ ය.

“2015 ඉඳලා 2019 ආණ්ඩුව ඉවර වෙනකම් එකට හිටිය තුන් දෙනා තමයි මේ වේදිකාවේ ඉන්නේ. මම බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්තුමාගේ ඉඳලා සම්පුර්ණයෙන් ම අපෙන් ඈත්වෙලා. ඒ වගේ ම තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව සම්පුර්ණයෙන් ම අපෙන් ඈත් වෙලා. ලෝකයේ රටවල් රාශියක් අපෙන් ඈත් වෙලා.”

”ඒ මොක ද අපි බලයට එන්න කලින් හිටපු බලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ සිට ලෝකයේ රටවල් ඇතුළුව අසල්වැසි හැම රටකට ම බොරු පොරොන්දු දීලා අපි ගැන විශ්වාසය නැති වෙලා තිබුණේ.”

”2009 අවුරුද්දේ යුද්ධය අවසන් වුණාට පස්සේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලංකාවට ආවා ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා ම ඒ කාලයේ හිටපු පාලකයින් කිව්වේ 13 විතරක් නෙමෙයි ඊටත් එහා ගියපු දේවල් දෙනවා කියලා. ඒක ම ඉන්දීය රජයට වගේ ම මානව හිමිකම් කොමිසමටත් කිව්වා. අන්තිමේදී සමහර ඇමතිවරු ගිහින් මෙහෙ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහා බිම නිදාගෙන සටන් පාඨ කිව්වා, රටේ නායකයා ගිහින් ඒ අයට තැඹිලි පෙව්වා.”

”එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන්පිල්ලේ ලංකාවට ආවා ම ආණ්ඩුවේ හිටපු එක් නියෝජ්‍ය ඇමති කෙනෙක් කිව්වා නවනීදන්පිල්ලේ මට විවාහ කර ගන්න තිබ්බ නම් හොඳයි කියලා. ඉතින් මේවත් එක්ක ප්‍රධාන වශයෙන් ම UN එක අපිත් එක්ක සම්පුර්ණයෙන් ම ඈත් වෙලා හිටියේ. UN එක අපෙන් ඈත් වෙන කොට යුරෝපා සංගමය අපෙන් ඈත් වෙන එක, IMF ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය සමාගම් අපෙන් ඈත්වෙන එක නතර කරන්න බැරි දෙයක්.”

”විදේශ රටවල් අපේ රටත් එක්ක අසමගියක් ඇති වෙලා මිත්‍රත්වය නැති වෙලා අසීරු අවදියක අපි හිටියේ. අපි ලොකු උත්සහයක් ගත්තා ජාත්‍යන්තරය දිනා ගන්න. අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න. ඒ අතර අතුරුදන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් වගේ ම ජාතීන් අතර සමගිය ඇති කිරීමට කටයුතු කළා,” හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

පාස්කු ප්‍රහාරය ගැන ‘වගකීමෙන්’ කියූ දේ

2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, තමන්ට පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් කිසිදු බුද්ධි අංශයක් ඒ ගැන දැනුම් දීමක් සිදුනොකළ බව ය.

“මේ සභාවේ නෙමෙයි ඕන ම තැනක ඉඳලා මට කියන්න පුළුවන් මේක. පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිසිය හෝ ආරක්ෂක අංශ, යුද හමුදා බුද්ධි අංශ නැත්නම් රාජ්‍ය බුද්ධි අංශ, ජාතික බුද්ධි අංශ… මේ කිසි ම කෙනෙක් 2019 අප්‍රේල් 04 වැනිදා පළවෙනි තොරතුර ලැබිලා අවසානයේ බෝම්බයක් පුපුරන දවසේ උදේ 7.00ට පොලිස්පතිවරයාට ඒ ගොල්ලෝ අතරේ සාකච්ජා ගියා මිසක්, ඒ කිසි ම කෙනෙක් මේ කාරණාව මට කිව්වේ නැහැ. මේක මම බොහොම පැහැදිලිව ම අධිකරණයට කිව්වා,” ඔහු පැවසීය.

තරුණ ප්‍රජාව ඉතා ඉක්මනින් රට සංවර්ධනය කළ යුතු බව සිතුව ද රාජ්‍ය පාලනයේදී එය පහසු කාර්යයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

“මේ රාජ්‍ය පාලනය ගැන සමාජයේ තියෙන කතිකාවත එක පැත්තකින්. නමුත් මේ ජනාධිපති පුටුවේ වාඩිවෙච්ච කෙනෙකුට තමයි දැනෙන්නේ ඒ තියෙන ප්‍රශ්න මොනවා ද කියලා. සමහර දේවල් තියෙනවා කියන්න පුළුවන් දේවල්. සමහර දේවල් තියෙනවා අදත් මට මෙතැන කියන්න බැරි දේවල්. එතකොට මූලික වශයෙන් දැන් නව තරුණ පරපුර එයාලගේ ලෝකය, සඳහා ඒ අය වේගයෙන් ගමන් කරනවා සමාජ මාධ්‍ය වගේ ම නව තාක්ෂණික උපකරණ එක්ක. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඉක්මනට ම රට සංවර්ධනය වෙයි කියලා. නමුත් ලේසි නැහැ එක පාරට ම රාජ්‍ය පාලනය. ඒක හරි ම සංකීර්ණ යි.”

‘දේශපාලනඥයින්ට විතරක් බැනලා වැඩක් නැහැ’

සිය පාලන සමයේදී ශ්‍රී ලංකාව තුළ වංචාව දුෂණය අවම කිරීමට තමන් කටයුතු කළ බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සමුළුවේදී පැවසුවේය.

“මගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වගේ ම මම පත් කරපු ආයතන සභාපති කෙනෙක් ලොකු අල්ලසක් අරන් අහුවුණා . අල්ලස් කොමිසම මේ අයගෙන් ප්‍රකාශ විතරක් අරන් දවස් ගාණක් බලන් හිටියා මම ඒකට මැදිහත් වෙලා කතා කරයි කියලා. නමුත් මම එහෙම කළේ නැහැ. මම දූෂණයට වංචාවට තදින් ම විරුද්ධ යි.”

“රටේ පාලකයා හොඳ වූ තරමින් ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වෙනියෝ කැබිනට් මණ්ඩලය. එක දෙක තුන පිරිසිදු වෙන්න ඕනේ. දුෂණය වංචාවෙන් තොර වෙන්න ඕනේ. මම කොහෙත් ම කැමති නෑ මේ පහුගිය අවුරුදු 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවාට. ඒක මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. දැන් ඡන්දයක් කරන්න ගියා ම අරක්කු නැත්නම් කොහෙත් ම වැඩ කරන්න බෑ. හොඳ කෑම එකක් ඕනේ, හොඳ බස් එකක් ඕනේ. ඒක තමා තත්ත්වය. මේ දේශපාලනඥයින්ට විතරක් බැන්නට වැඩක් නෑ. දේශපාලනඥයිනුත් මුල ඉඳල ම හැදෙන්න ඕනේ, අමාත්‍යාංශ ලේකම් ඉඳලා ජනාධිපති ලේකම් ඉඳලා පහළට හැදෙන්න ඕනේ. රටේ පුරවැසියොත් යහපත් වෙන්න ඕනේ.”

‘අපිට අමාරු කාලේදී උදව් කළේ කාන්තාවන් තුන්දෙනෙක්’

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ඇතිවූ ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ කඩා වැටුණු ශ්‍රී ලංකාව ගොඩනැගීමට කාන්තාවන් තිදෙනෙකු සහය දුන් බව ය.

“චන්ද්‍රිකා සහ සිරිසේන හිටපු ජනාධිපතිවරුන් වගේ මම තේරී පත්වුණ කෙනෙක් නෙමෙයි. කවුරුත් භාර ගන්න සූදානම් නොවූ මොහොතක මම ඇවිදගෙන ගිහිල්ලා කාර්යාලයේ අසුන් ගත්තා.”

“ඔවුන් දෙදෙනා යටතේ ම අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. මට ලැබුණේ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක්. මුදල් නැහැ, මිනිස්සු පෝලිම්වල හිටියා ජීවත් වෙන්න උත්සහ දරමින්.”

”ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය, ඇමෙරිකානු භාණ්ඩාගාර ප්‍රධානියා වගේ ම ඉන්දියාවේ මුදල් ඇමතිවරිය කියන මේ තුන් දෙනා අපිට ඒ අවස්ථාවේදී ගොඩක් උදව් කළා. ඒ නිස යි මම නිතර ම කිව්වේ ලංකාවට කාන්තාවන් තුන් දෙනෙක් උදව් කළා කියලා.”

”යල කන්නයේ වගා කටයුතු ආරම්භ කරන්න යද්දී අපි ළඟ ඉතුරු වෙලා තිබුණේ මිලියන කිහිපයක් විතරයි. එතැනදී USAID සංවිධනයේ සමන්තා පවර් මුණගැසුණු අවස්ථාවේ ඇය අපට යම් මුදලක් ලබා දුන්නා, ඊට පස්සේ ලෝක බැංකුව උදව් කළා. මෙතැනින් තමයි අපේ ආරම්භය තිබුණේ.”

”ඉන්දීය අගමැති, ජපාන අගමැති, චීන ජනාධිපතිවරයා, ජර්මානු චාන්සලර්වරයා වගේ ම ප්‍රංශ ජනාධිපතිවරයා අපට උපකාර කළ ප්‍රධාන පුද්ගලයින්.”

”අපි අවස්ථා 17කදී ජාත්‍යන්තර අරමුදලට ගිහින් තියෙනවා. අවසාන වරට හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ පාලන කාලයේදී අපි ගිවිසුමකට එළැඹුණා. අපිට බදු අය කරන්න සිද්ධ වුණා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආවට පස්සේ තත්ත්වය වෙනස් වුණා. ඔහු අයවැය ඉදිරිපත් කරලා සියලු ම ආදායම් අයින් කළා. ඔයාලා සතුටු වුණා බදු අඩු වුණා කියලා. නමුත් එතැනින් තමයි මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ.”

‘අල්ලස – දූෂණය අඩු මගේ පාලන කාලයේදී’

මේ අතර, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, රටේ සිවිල් යුද්ධයක් පැවතුණ ද රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවත්වාගෙන යාමට මෙන් ම රජයේ සේවකයින්ගේ වැටුප් අවස්ථා 05කදී ඉහළ දැමීමට හැකි වූ බව ය. තමන්ගේ පාලන සමයේදී රටේ ආර්ථිකය හොඳින් පවත්වාගෙන යාමේදී ආර්ථික වර්ධනය නිසි ලෙස පවත්වාගෙන යාමට මුදල් ඇමතිවරිය ලෙස කටයුතු කළ බව ද ඇය පැවසුවා ය.

“සෑම මාසෙක ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සොයා බැලීමට රැස්වීමක් තිබුණා. මම එතැනට ඇවිත් සොයා බැලුවා ආර්ථිකය පවත්වාගෙන යාමට ගන්න තීන්දු තීරණ හරි හැටි ක්‍රියාත්මක වෙනව ද කියලා. එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා තේරුණ තැනදී තමයි කැබිනට් සංශෝධනයන් කරලා, වැඩ කරන්න පුළුවන් අයට නියමිත වගකීම් භාර දුන්නේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට වුණත් මේ ටික ම යි. මගේ ආණ්ඩුව යටතේ දැඩි කොන්දේසියක් තිබුණා අල්ලස් සම්බන්ධයෙන්. කාටවත් ආණ්ඩුවේ දේවල් සොරකම් කරන්න ඉඩක් දුන්නේ නැහැ. වගකීමෙන් කියන්න පුළුවන් මගේ ආණ්ඩුව සමයේදී අල්ලස දුෂණය අවම යි කියලා,” හිටපු ජනාධිපතිවරිය පැවසීය.

‘ඔයාලා වැරදි වෘත්තියේ ඉන්නේ’

රටේ ජනාධිපති ධූරය සඳහා වරලත් ගණකාධිකාරීවරයෙකුට පත්වීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, ඒ සඳහා ලබා දෙන උපදෙස කුමක් ද? යන්න එම සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විමසූ විට ඔවුන් ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

රනිල් වික්‍රමසිංහ – “යූඑන්පී සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන් ම ජනාධිපතිගේ දකුණු අත වගේ හිටියා. මහවැලිය සාර්ථක වුණේ එතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මේ අයට උඩට යන්න පුළුවන්. CEO කෙනෙක් සහ අපේ දේවල් ඊට වඩා වෙනස්. ස්ටීව් ජොබ්ස්ට ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න බෑනේ. ඒ නිසා ඒක දෙකක්. එහෙම කරපු එක ම කෙනා ඩොනල්ඩ් ට්‍රම්ප්.”

මෛත්‍රීපාල සිරිසේන – “ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුත් ආවේ නෑනේ. ඡන්දෙට ඉදිරිපත් වුණේ නෑනේ. ආව නම් එපා කියනවා ද? අපි එපා කියන්නේ නෑ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේදී ඔබතුමන්ලාගේ වරලත් ගණකාධිවරයෙක් මේ රටේ ජනාධිපති වේවා කියලා.”

රනිල් වික්‍රමසිංහ – “මේක හැමවෙලේ ම පාලනය කරන්නේ නීතිඥයෝ. ඔයගොල්ලෝ වැරදි වෘත්තියේ ඉන්නේ.”

චන්ද්‍රිකා කුමාරතුංග – “මේ රටේ හැම කෙනාට ම දොරවල් විවෘත වෙන්න ඕනේ. උගත්, වැදගත් අයට දේශපාලනයට එන්න. මම දැන් වෙලාව වෙන්කරන්නේ දේශපාලනයට නෙමෙයි. අලුත් නායකයින්ව හදන්න.”

මෛත්‍රීපාල සිරිසේන – “ජනාධිපතිතුමියනි උගතුන් ඉන්නවා හොරකම් කරන. අමාත්‍යාංශවල ඇමතිට හොරකම් කරන්න බෑ, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ගණකාධිකාරීවරයා දන්නේ නැතුව. ඊට පස්සේ තමා ඒ දෙන්නත් පටන් ගන්නවා මහ ඒකා එහෙම නම් අපිත් පොඩ්ඩක් ගහනවා කියලා.”

www.bbc.com

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග