අතින් දමා High Court දෙන හබරාදූවේ පොලිස් මහත්තුරු

 

එම්. ඒ. ශෙහාන් කුමාර, එම්. ගිම්හාන තරුෂ කුමාර, එම්. ඒ. සමීර යන අයවලුන් එකම නිවසේ වාසය කරන සහෝදරයන්වන අතර ඔවුන් තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මොවුන් ඉකුත් ජුනි මස 08 වන දා රාත්‍රි 8.00ට පමණ රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් 05 දෙනෙකු පැමිණ එම පවුලේ දෙවැනි දරුවා වන ශෙහාන් ගයන්ත කුමාර යන අයට පහර දීමට පටන් ගෙන ඇත. එම අවස්ථාවේ පවුලේ වැඩිමල් පුත් ඔහුගේ සහෝදරයාව පොලිසීයෙන් රැගෙන යාමට හේතුව විමසා ඇති අතර එවිට සඳහන් කර ඇත්තේ ගෑස් සිලින්ඩරේ ප්‍රශ්නය මත අත්අඩංගුවට ගන්නා බවයි.

එම අවස්තාවේ මව නිවසට පැමිණ ඇති අතර මව පවසා ඇත්තේ දැනටමත් මෙම ගෑස් ගැටළුව සඳහා ගාල්ලේ පොලිසීය විසින් නඩුවක් ගොනු කර ඇති බවත් මොවුන්ට ඇප ලැබුණූ බවත් ඇය පවසා ඇත. එම අවස්ථාවේ හබරාදුව පොලිසියෙන් පවසා ඇත්තේ ඔවුන්ට ඒවා අනවශ්‍ය බවත් ඔවුන්ට ලැබුණු පැමිණිල්ල මත ක්‍රියාත්මක වන බවත් ය. එම අවස්ථාවේ ඔවුන් මෙම සිද්ධිය වීඩීයෝ කිරීමක් සිදු කර ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් “උඹලට වීඩීයෝ බැරිනම් ඕනෑ දෙයක් කරපන්” යැයි පවසා පොලිසීය විසින් තවත් නිලධාරින් කිහිපදෙනෙක්ව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත.

පසුව එම ස්ථානයට යතුරුපැදි තුනකින් නිලධාරීන් හය දෙනෙකු පැමිණ මෙම පිරිසට පහර දී ඔවුන්ගේ ජංගම දුරකතන ද රැගෙන ඔවුන්ට මාංචු දමා ඇත. ඔවුන්ව පොලීසියට රැගෙන යන අවස්ථාවේ ද පහර දී ඇති අතර පසුව පොලිසීයට රැගෙන ආපසු ඔවුන්ට පොලිසියේ සිටි අනෙකුත් නිලධාරින් ද පහර දී ඔවුන්ව කාමරයකට දමා දණගසා ගෙන සිටන ලෙස පවසා කුරුඳු පොල්ලකින් තවදුරටත් පහර දී ඇත. ඉන් පසුවද විටින් විට ඔවුන්ට තවදුරටත් පහර දී ඔවුන්ගේ ජංගම දුරකතන රැගෙනවිත් බලහත්කාරයෙන් ඔවුන්ගේ දුරකතන විවෘත කර දෙන මෙන් ඉල්ලා ඇත. පසුව ඔවුන් විසින් කළ වීඩීයෝ මකා දමා ඇත.

මොවුන්ගේ එක් අයෙකු විසින් පැනඩෝල් ඉල්ලා ඇති අතර එයද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. පසු දින එනම් ජුනි මස නවවන දින උදෑසන ඔවුන්ට උසාවියට ඉදිරිපත් කර ඇති අතර එහිදි ශෙහාන් කුමාර නැමැති තරුණයා බන්ධනාගාරගත කර ඇති අතර පසුව අනෙක් තිදෙනාට ඇප ලබා දී තිබේ. මෙම අවස්ථාව වන විට ඔවුන් සියලුදෙනාට ඇප හිමි වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මැදිහත් වී මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිෂන් සභාවට, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස්පති හා බන්ධනාගාර අධිකාරවරයා වෙත පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවන ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට ඔබගේ පැමිණිළි ඉදිරිපත් කළ හැක.

ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය

නිරෝෂා ලක්මාලි – 0776969880

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

www.right2lifelanka.org

 

වීඩියෝව පහතින්

Social Sharing
නවතම පුවත්