තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම සිද්ධියේ වින්දිත පුද්ගලයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ යළි කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දුන්නේය. පෙත්සම යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
මෙය ඉතා බරපතළ සිද්ධියක් බවත් තමන් වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් පෙත්සම කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පැවසීය. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතිසි යොමු කිරීමට කටයුතු කරන ලෙස පෙත්සම්කරුට නියම කළේය.
මෙම පෙත්සමේ නීතිපතිවරයා, පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. පෙත්සම්කරු සිය පෙත්සම මඟින් තෙල්දෙණිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වැනිදා තමන් අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබාගනිමින් වධ හිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තහවුරු වූ බව සඳහන් කර ඇත. මෙම ක්‍රියාව හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නීතිඥ සුරෙන් ඩී. පෙරේරා මහතා පෙනී සිටියේය. පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.