හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!

Preparation of fraudulent documents

වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින් විත්තිකරු වන නීතිඥවරයාට චෝදනා දෙකකට වසර අටක අනිවාර්ය බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර ඇති අතර රුපියල් 20,000/-ක දඩයක් ද නියම කර ඇත.

ඒමෙන්ම වසර දහයක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල නීතිඥවරයාගේ තාවකාලිකව නීතීඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතීඥවරයා මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇත. මෙම පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්විනිසුරුවරයා විත්තිකාර නිතීඥවරයාට අදාළ සිරදඬුවම නියම කර ඇත.

නීතිය දන්නා පුද්ගලයින්ම අපරාධ කරන බවත්, එම නිසාවෙන්ම විත්තිකරුට උපරිම දඬුවම් ලබා දෙන ලෙසත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා ඉල්ලා සිටියේය.

මෙම නීතිඥවරයා 2013 ඔක්තෝබර් මස රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතීඥවරයකුගේ නමක් යෙදු ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු හා කූඨ ලේඛන සකස් කර ඇත. ඒ අනුව විත්තිකාර නීතීඥවරයාට එරෙහිව 2015 වසරේදී කොළඹ මහාධිකරණයේ අධිචෝදනා මත නීතිපතිවරයා නඩු පවරා ඇති අතර නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කිරීමෙන් පසු මෙම තීන්දුව ලබා දී ඇත.

මේ අතර, හොර ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්ට ලබා දීමේ වරදට හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කර ඇති බව ද වාර්තා විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විත්තිකරුට රුපියල් 1500ක දඩයක් ද නියම කර ඇත. ඔහුට එල්ල වී තිබූ චෝදනාව ද සාධාරණ සැකයකින් ඔප්පු වූ අතර ඉහත දැක්වූ ආකාරයට දඬුවම් නියම වී ඇත.

2010 වසරේ ඔක්තෝබර් පස්වැනිදාත් 2011 වසරේ නොවැම්බර් මස දස වනදාත් අතර කාලය ඇතුළත බොරැල්ල සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී ව්‍යාජ අන්දමින් ඉඩම් ඔප්පුවක් සෑදීම, එම ඔප්පුව ව්‍යාජ බව දැන දැනම ලියාපදිංචියට යවා තිබීම, කූඨ ලේඛන සැකසීම යන චෝදනාවන් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව වංචා විමර්ශන කාර්යංශය විසින් මෙම නඩුව පවරා ඇත.

මෙලෙසින් ව්‍යාජ ඔප්පු සෑදීම අපරාධමය වරදක් වන අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 452 සිට 478 දක්වා වගන්ති මගින් එය විග්‍රහ කර ඇත. ඒ අනුව දඬුවම් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 454 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන සාදන්නෙකුට වසර 05ක් ද, 457වන වගන්තිය ප්‍රකාරව වංචනික කාර්යයක් සඳහා ව්‍යාජ ලේඛන සාදන්නෙකුට වසර 07ක් ද, 459 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන, මුද්‍රා හෝ ලාංඡන භාවිතා කරමින් හෝ තමා සන්තකයේ තබාගෙන සිටින්නන් හට වසර 10ක් ද, 461 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන, මුද්‍රා හෝ වෙනත් උපකරණ සාදන තැනැත්තෙකුට හෝ ඒවා සන්තකයේ තබාගන්නා තැනැත්තෙකුට වසර 07ක් ද, ව්‍යාජ ලේඛන සකසා ඒ අනුව වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම වෙනුවෙන් වසර 03ක් ද දක්වා සිර දඬුවමකට හෝ දඩ මුදලකට හෝ දෙයාකාරයෙන්ම හෝ දඬුවම් ලබාදීමට හැකිය.

Social Sharing
අවකාශය නවතම