සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?

Why teenagers think about suicide

නව යොවුන් වියේ පසුවන තරුණයන් විසින් සිදුකර ගත් සියදිවි හානිකර ගැනීම් මෑතක සිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කම්පනයට පත්කර වීමට සමත් වී ඇත. වෙන කවරදාකටත් වඩා වර්තමානයේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් වැඩි පිරිසක් ආතතියට සහ කලකිරීමට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ අධ්‍යයනවලින් හෙළි වී තිබේ. මෑත වසරවලදී එම යෞවනයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නව යොවුන් වියේ දරුවන්ට පාසැල් යාමට සහ ඔවුන්ගේ මිතුරන් හමුවීමට බාධා වීම බොහෝ දෙනෙකුට තනිකමක් සහ ආතතියක් ඇති කිරීම, ආර්ථික ගැටළු යනාදිය නිසා යෞවනයන් ඔවුන්ගේ අනාගතය ගැන කනස්සල්ලට පත්වීම, සමාජ මාධ්‍යවල බොහෝ කාලයක් ගත කිරීමෙන්, සමාජ මාධ්‍යවල සිටින අනෙකුත් පුද්ගලයන් සමග සංසන්දනය කිරීමට යාමෙන් හා ඇතැම් විටදී වන අසමත් වීම් හමුවේ ඔවුන්ට තමන් ගැනම නරකක් සහ තමන් කෙරෙහි වරදකාරී හැඟීමක් සිතීම යනාදී සිදුවීම් නිසා සමහර යෞවනයන් සිය දිවි හානි කර ගැනීමට පෙළඹී තිබිණි.

මානසික සෞඛ්‍යය ගැන ශ්‍රී ලංකාවේ සමාජය සෑම විටම බැරෑරුම් ලෙස සළකන්නේ නැත. වැඩිහිටියන් බොහෝ විට සිතන්නේ උපදෙස් දීමෙන් හෝ දැඩිව සිටීමෙන් ගැටලුව විසඳිය හැකි බවයි. නමුත් යෞවනයන්ට ඔවුන්ට ඇහුම්කන් දීමට සහ ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට කෙනෙකු අවශ්‍ය වේ. ඔවුන්ගේ කනස්සල්ල නොසලකා හැරීම බොහෝවිට ඔවුන් සියදිවි හානි කරවා ගැනීමට පොළඹවා ඇත.

නව යොවුන් වියේ පසුවන අය බොහෝ වේලාවක් දුරකථන හා පරිගණක තිරමත කාලය ගත කරති. තිර කාලය වැඩි වීම කාංසාව සහ මානසික අවපීඩනය  වැනි ගැටළු ඇති කළ හැක. සමහර යෞවනයන් අන්තර්ජාලය හරහා මිතුරන් ඇති කර ගනී. නමුත් මෙම මිතුරන් සමගින් බොහෝ විට සැබෑ ජීවිතයේ හමුවන මිතුරන් තරම් ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති නොවේ. ඇතැම් විට එසේ අන්තර්ජාලය හරහා සම්බන්ධවන මිතුරන් නිසා ඇතැම් යෞවනයන් විවිධ විෂමාචාරවලට යොමු වී පසුව සියදිවි නසා ගැනීමටද හේතු පාදක වී තිබේ.

ඉක්මනින් කෝපයට පත් වීම, වැඩිපුර නිදා ගැනීම හෝ කිසිසේත්ම නිදා නොගැනීම, ඕනෑවට වඩා ආහාර ගැනීම හෝ ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, තවදුරටත් පාසල හෝ විනෝදාංශ ගැන සැලකිල්ලක් නොදැක්වීම යනාදී සලකුණු යෞවනයකු තුළින් දුටුවහොත්, එම යෞවනයා සමඟ කතාකර ඔවුන්ගේ ගැටළු බෙදා ගැනීමට ඔවුන්ට ඉඩ දීමෙන් එම තත්ත්වයෙන් යෞවනයන්ට මිදීමට ඔබටත් සහාය විය හැකිය. බොහෝ විට ඇහුම්කන් දීම පමණක් වුවද එම යෞවනයන්ට උපකාරයක් විය හැක.

ගුරුවරුන් සිසුන් සමඟ බොහෝ කාලයක් ගත කරන බැවින් යෞවනයෙකුගේ ඉහත හැසිරීම් පහසුවෙන් ගුරුවරුන්ට දැක ගත හැකිය. ශිෂ්‍යයෙකු සෑම විටම වෙහෙසට පත්ව සිටී නම්, අවධානය යොමු නොකරන්නේ නම් හෝ හිසරදය ගැන පැමිණිලි කරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔවුන් ආතතියට පත්ව ඇති බවයි. එවැනි අවස්ථාවකදී ගුරුවරුන්ට එම සිසුවාව පාසලේ උපදේශකයෙකු වෙත යොමු කිරීමට හෝ ඒ ගැන සිසුවාගේ දෙමාපියන්ව දැනුම්වත් කිරීම හරහා සියදිවි හානිකර ගැනීමට පෙළඹීමෙන් මුදවා ගත හැකි වනු ඇත.

ඔබ හෝ ඔබ දන්නා අයෙක් සියදිවි නසා ගැනීමක් ගැන සිතන්නේ නම් හෝ දුකක් දැනෙනවා නම්, ඉන් මිදීමට උපකාර කළ හැකි ස්ථාන ශ්‍රී ලංකාවේ තිබේ. ඕනෑම මොහොතක පහත දුරකථන අංක ඇමතීමෙන් ඔබගේ සහායට නිලධාරීන් සිටින අතර ඔබගේ ගැටලුවෙන් මිදීම සඳහා ඔවුන් ඔබට උපකාර කරනු ඇත.

ශ්‍රී ලංකා  මානසික සෞඛ්‍ය විද්‍යායතනය – 1926
සුමිත්‍රයෝ: 011 267 4436
CCC පදනම: 1333
Women in Need උපදේශන සහාය – 011 471 8585

අද යෞවනයන් සමාජ මාධ්‍ය හරහා ඇතිවන ආතතියේ සිට මුල්‍යමය ගැටළු දක්වා බොහෝ ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිති. උදව් කිරීමට හොඳම ක්‍රමය නම් ඔවුන්ට ඇහුම්කන් දීම, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සිටීමයි. ඔබ දෙමාපියෙකු, ගුරුවරයෙකු හෝ මිතුරෙකු වුවද, ඔබ ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වන බව පෙන්වීම යෞවනයෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කළ හැකිය.

BBC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් සකසන ලදී.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග