මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!

Midigama police officers brutally beat a young man while drunk

H D නිපුන් මහින්ස නැමැති 23 හැවිරිදි තරුණයා වැලිගම පදිංචි කරුවෙකි. 2024 සැප්තැම්බර් මස 16 වනදා රාත්‍රි 8.00ට පමණ ඔහුගේ ඥාති නිවසක තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ රැදෙමින් මුදලට කාඩ් සෙල්ලම් කරමින් සිටි ඇති අතර, එම අවස්ථාවේ පොලිස් නිලධාරින් හය දෙනෙකු පැමිණ ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සියලුදෙනාව මිදිගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ට ගංජා නඩුවක් දමන බව පවසමින් සිරමැදිරියට දමා ඇත. එහිදි නිපුන් මහින්ස නැමැති තරුණයාගේ ජාතික හැඳුනුම්පත සමන් ලාල් නැමැති නිලධාරියා ලබාගෙන ඇති අතර එහිදි මෙම තරුණයා ඔහුගේ හැඳුනුම්පත තමාගේ මවට දෙන මෙන් පැවසූ විට පොලිස් නිලධාරියා ඔහුට කම්මුලට පහර දෙමින් බැණ වැදමින් තවත් ප්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම අනෙකුත් නිලධාරින් ක්‍රිකට් පිත්තකින්, විකට් කූරකින් හා පොල්ලකින් මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇත. එකී අවස්ථාවේ තවත් පුද්ගලයකුට මාංචු දමා එල්ලා තිබෙන අයුරු ද ඔහු දැක තිබේ. පසුව මධ්‍යම රාත්‍රි 1.00ට පමණ බීමතින් එම ස්ථානයට පොලිස් නිලධාරින් පස් දෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් නිලධාරියෙක් පැමිණ “අයි. ඩී එක ඉල්ලපු එකා එක්ක වරෙන්” යනුවෙන් පවසා ඇත. පසුව ඔහුට මාංචු දමා නිලධාරින් එක් වී පහර දී ඇත. පසු දින ඔහුට පවසා ඇත්තේ ඔහුට ඇප ලබා නොදෙන බවත් මත්ද්‍රව්‍ය (කුඩු) නඩුවක් දමන බවත් ය.

ඒ අනුව 17 වන දින ඔවුන් සියලුදෙනා උසාවියට ඉදිරිපත් කර ඇති අතර එවිට ඔවුන් සියල්ලටම කන්සා සන්තකයේ තබා ගැනීමේ වරදට නඩු පවරා ඇත. එම අවස්ථාවේ සියලුදෙනා ඔවුන් වරද පිළිනොගෙන ඇති අතර නඩු විභාගය ඔක්තෝම්බර් තුන දිනට නියම වී පසුව ලබන ජනවාරි මස දෙවන දා දක්වා කල් ගොස් ඇත. එමෙන්ම මෙම තරුණයා දින දෙකක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා 18 වන දින මාතර මූලික රෝහලට ඇතුළත් වී ඇත.

වීඩියෝව පහතින්..

Social Sharing
අවකාශය නවතම