2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව පුද්ගලයන් හා නිවාසවල තොරතුරු රැස් කිරීමට සියලු කටයතු සූදානම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කරයි. මෙම සංගණනයට අන්තර්ජාලය හරහා අදාල තොරතුරු ඉදිරිපත් කිරීමට ජනතාවට පැවති අවස්ථාව පසුගිය හයවෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව ඊයේ සිට ක්ෂේත්‍රයේ තොරතුරු රැස් කිරීමේ කටයතු ආරම්භ කෙරිණි.
සංගණන ආඥා පනතේ විධිවිධානයන්වලට අනුකූලව සියලු පුරවැසියන් තොරතුරු ලබා දීමට බැඳි සිටින අතර එමෙන්ම පුරවැසියන් විසින් ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට තොරතුරු ලබා ගන්නා නිලධාරීයෝ ද බැඳි සිටිති.
ඒ අනුව ජන හා නිවාස සංගණනයේ මූලික අදියරයේ දී ගෘහ ඒකක මිලියන 8.3ක ලේබල් අලවා ඇත. මෙම ගෘහ ඒකක මිලියන 8.3 අතරින් 80.7% නිවාස ඒකක ලෙස හඳුනාගෙන ඇත. එය 2012 වසරේ පැවති සංගණනයට සාපේක්ෂව 12%ක පමණ වැඩිවීමකි. එමෙන්ම අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේ වන අතර ඒ අනුව ඉන් වසර 12කට පසුව මෙම සංගණනය පවත්වනු ලැබේ.
අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කරන අන්දමට රටක ජනගහන ව්‍යූහය පිළිබඳ අධ්‍යයනය කිරීමට ජන හා නිවාස සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු අත්‍යවශ්‍යවන බවයි. එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රතිපත්ති සැලසුම් කිරීමට මෙම තොරතුරු භාවිතා කළ හැකි බව ඇය තවදුරටත් පවසා සිටියි.