සංක්‍රාන්තික ලිංගික සිරකරුවන්ට බන්ධනාගාරවල වෙනම ඉඩක්!

separate space for transgender prisoners in prisons

ඉදිරියේදී ඉදි කරන බන්ධනාගාරවල සංක්‍රාන්තික ලිංගික සිරකරුවන් සඳහා වෙනම ඉඩක් වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුඛ බන්ධනාගාර බලධාරීන් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියේ, දැනට බන්ධනාගාරවල පවතින අඩු පහසුකම් හේතුවෙන් සංක්‍රාන්තික ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන්කිරීම අභියෝගයක් බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම ගැටලු සහගත බවයි. 2016 වසරේ ජුනි මස සිට ශ්‍රී ලාංකික සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ට තමන් කැමැති ස්ත්‍රී පුරුෂ භාවය යටතේ පිළිගැනීම සඳහා සහතිකයක් ලබා ගැනීමට අවසර දී ඇත. ඒ අනුව ඔවුන් සෑම විටම උත්සහ කරන්නේ මෙම නිල හැඳුනුම්පත ඇති සංක්‍රාන්තික ලිංගික සිරකරුවන්ට සිය ස්ත්‍රී පුරුෂ භාවයට අනුකූලව සිර වාට්ටුවල ඉඩකඩ ලබා දීම බව ඔහු තවදුරටත් සඳහන් කරයි.  එමෙන්ම ඔවුන්ගේ අභිමතයට අනුව ලිංගිකත්වය තහවුරු කරන  හැඳුනුම්පතක් ඔවුන් සතුව නොමැති නම් ඔවුන්ව වෛද්‍යවරයෙකු වෙත යොමු කොට ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයෙකු ද යන්න තක්සේරු කළ හැකි බව ඔහු පවසයි.  එම වෛද්‍ය උපදෙස් හා සිරකරුවන්ගේ කැමැත්ත ද මත ඔවුන්ට සුදුසු සිර වාට්ටුවල ඉඩ ලබා දීම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරන බවත් එහිදි බන්ධනාගර තුළ සංක්‍රාන්තික ලිංගිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් අවදනමක් ද පවතින බවත් ඔහු එහිදි පවසා තිබේ.

එහිදි සිය අදහස් පළකළ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා මහතා පැවසූයේ, සංවර්ධිත රටවල් බොහොමයක් සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් පිළිගෙන තිබෙන බවත් විශේෂයෙන් බන්ධනාගාරවලට සංක්‍රාන්ති ලිංගික සිරකරුවකු යොමු වූ විට ඒ අය කාන්තා සිර වාට්ටුවලට යොමු කිරීමේදී ඔවුන්ට හිරිහැර වූ අවස්ථා වාර්තාවී තිබෙන බව අවධාරණය කළ ඔහු මෙවැනි සිරකරුවන්ට ද අනෙක් අයට වගේම සමාන අයිතිවාසිකම් තිබෙන බැවින් මේ පිළිබඳව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සිරකරුවන්ගේ ගැටලුව පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉදිරියේදී ඉදි වන බන්ධනාගාරවල මෙවැනි සිරකරුවන් සඳහා වෙනම ඉඩක් පවත්වාගෙන යන්නට යෝජනා ඉදිරිපත් කරන්නට බන්ධනාගාර බලධාරින් අකැමැත්තක් පළ නොකළ බව මෙන්ම මහ මැතිවරණයෙන් පසු පත්වන අධිකරණ විෂය භාර ඇමැතිවරයා සමඟත් මේ සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියි.

– චේතනා ගෝමිස්-

Social Sharing
නවතම පුවත්