ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියගේ නම මෙසේ යෝජනා වී තිබෙන බව පොලිස් අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් තිදෙනා අතරද සිටින ඉමේෂා මුතුමාල මහත්මිය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ 2007 වසරේ නොවැම්බර් 03 වැනිදාය. 2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධිකාරීවරියක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරය කාන්තා නිලධාරීන්ට විවරවන්නේ නම් එම තනතුර දක්වා ඉහළට යාමට හැකියාවක්ද ඇත. ඇය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2041 වසරේදීය.
ඇය රුහුණු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා ඇත. පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයේ නිරතව සිට ඇති ඉමේෂා මුතුමාල මහත්මිය පොලිස් නිෂ්කාශන අංශයේත් කලක් සේවය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙසද ඇය කලක් කටයුතු කර තිබුණාය. ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරනු ලබන්නේ 2021 වසරේ ජූනි මාසයේදීය.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අර්බුද කළමනාකරණ පාඨමාලාව ද තායිලන්තයේ දී FBI ආයතනය මගින් පවත්වන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පාඨමාලාව ද මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව මෙන්ම ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ඇය හදාරා තිබේ. මේ හැරුණු කොට ඉන්දියාවේ දී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද ඇය හදාරා ඇත.
ඉමේෂා මුතුමාල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස යෝජනාවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට මේ වන විට නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා නම් කර තිබේ.