ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පවරා ඇති නඩුවට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැම්බර් 04 වැනි දා උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් පසුගිය 04 වැනිදා නියෝග කළේය.
මහාධිකරණ ඝෝෂකවරිය විසින් නයනා සමන්මලී නොහොත් ඩයනා නටාෂා කැකුණදුර නොහොත් ඩයනා ගමගේ යනුවෙන් විත්තිකාරියගේ නම අඬගසන ලද අවස්ථාවේ හිටපු සංචාරක ඇමැතිවරිය වූ ඩයනා ගමගේ පෙනී සිටියාය.
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම ඩයනා ගමගේ යනුවෙන් විත්තිකාරියගේ නම නීත්‍යනුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරණ කූට උප්පැන්න ලේඛනයක් පානදුරේදී හෝ කොළඹ දි සකස් කිරීම, ඒ සඳහා අනුබල දීම යන වරද සඳහා නඩු පවරා තිබේ.
විත්තිකාරිය එම හැඳුනුම්පත 2004 වසරේ ඔක්තෝම්බර් 09 වැනි දා සහ දෙසැම්බර් 01 වැනි අතර කාලය තුළදී ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත් ලබා ගෙන ඇත. විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 32, 102, 457, 459 යන වගන්ති යටතේ 2024 වසරේ ජූනි 06 වැනි දා චෝදනා ගොනුකර තිබේ.
නීතිපතිවරයා අධිචෝදනා පත්‍රයට සමඟ සාක්ෂි ලේඛනයක් ඉදිරිපත් කර ඇත. එහි පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ඩයනා ගමගේට විරුද්ධව මුල් පැමිණිල්ල කළ සමාජ ක්‍රියකාරී ඕෂධ හේරත්, නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. මෙයට අමතරව 2004 වසරේ නොවැම්බර් 22 වැනි දා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට භාරදුන් අංක 4683 හා 4685 දරණ උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛන, ආගමන විගමන බලපත්‍ර දෙකක් ඇතුළු ලේඛන රැසක් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.
පසුගිය 04 වැනිදා මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මහාධිකරණයට භාර දී නැති බව වාර්තා විය. විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සමඟ සඳමාලී පීරිස්, නිසිත් අබේසූරිය යන මහත්ම මහත්මීහූ පෙනි සිටියහ.