ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය සභාවට අයත් වේරුගලම්පති මාවඩිචේනයි ගම්මානයේ පිහිටි රජයේ පාසලක තම ආගම ඇදහීමේ මූලික මිනිස් අයිතිය කඩ වීමක් දක්නට ලැබේ. ඒ අනුව මෙම පාසල පෙරදී “දෙමළ මිශ්‍ර විද්‍යාලය” ලෙස හැඳින්වූ අතර පසුව මෙම පාසලේ දැනට සිටින විදුහල්පතිවරයා පැමිණීමෙන් පසු එම පාසල “හින්දු විද්‍යාලය” ලෙස පාසලේ නාමය වෙනස් කොට ඇත. ඉන් පසුව එම පාසලේ ක්‍රිස්තියානි ආගම ඇදැහූ සිසුන්ට එම ආගම ඇදැහිමේ සහ ඉගෙනීමේ සීමාවන් ඇති කොට තිබේ. ඒ අනුව මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ සියලු සිසුන්ට හින්දු ආගම අදහන ලෙස නියම කොට ඇති අතර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔවුන්ට ක්‍රිස්තියානි දහම විශයක් ලෙස හැදැරීමට මෙන්ම විභාගයට ඉල්ලුම් කිරීමට ද තහනම් කර ඇත. එමෙන්ම ක්‍රිස්තියානි ආගම අදහන සිසුන් 50ක් පමණ මෙම පාසලේ සිටින අතර ඔවුන්ට සිය ආගම ඇදැහීමට අවශ්‍ය නම් පාසලෙන් ඉවත් වී යන ලෙස ද මෙම විදුහල්පතිවරයා පවසා ඇත. වාර්තාවන අන්දමට මෙම පාසල් සිසුන්ට සිය ආගම ඉගෙනීමට අවශ්‍ය පෙළ පොත් ද පාසලට ගෙන ඒම සම්පූර්ණයෙන් නවතා ඇත.
විශේෂයෙන්ම, ක්‍රිස්තියානි සිසුන් පස් දෙනෙකුට ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හේතුවෙන් 2025 දී ඔවුන්ගේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීම තහනම් කර ඇති බව ද වාර්තා වේ. මෙම තත්ත්වය ආගමික අයිතීන් සුරැකීමේ අවශ්‍යතාවය සහ විවිධ පසුබිම්වල පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම යන සමාජීය ගැටළුව ඉස්මතු කර ඇත.