සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවූයේ ඇයි?

Why was the army called for civil work

-BBC-

රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියෙන් විධායක ජනාධිපතිවරයා සතුව තිබේ.

එම බලය උපයෝගී කරගෙන නව ජනාධිපති අනුර කුමාර දිසානායක ද ශ්‍රී ලංකාවේ සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සහ මුහුදු තීරයක් සහිත දිස්ත්‍රික්කවල දේශීය ජල තීරයටත් බලපැවැත්වෙන පරිදි රාජකාරි සඳහා සන්නද්ධ හමුදාවල සියලු ම සාමාජිකයන් කැඳවා තිබේ.

රට තුළ කැරලි කෝලාහල තත්ත්වයක් නොමැති පසුබිමකදී ජනාධිපතිවරයා එවැනි ගැසට්ටුවක් නිකුත් කිරීමේ අවශ්‍යතාව කුමක් ද?

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියෙන් කළ හැකි මොනවා ද?

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලපවත්නා එක් ප්‍රධාන නීතියක් වන්නේ මහජන ආරක්ෂක ආඥා පනත යි. එහි වගන්ති කිහිපයක් යටතේ ම රට තුළ අර්බුදකාරී තත්ත්වයන් මතු වේ නම් ඒවාට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා බලය විධායක ජනාධිපතිවරයාට හිමිව තිබේ. ආසන්න දශකයක කාලයක් පුරා සිටි ජනාධිපතිවරුන් 5 දෙනා ම මෙම ආඥා පනත යටතේ තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව විවිධ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියේ දැක්වෙන්නේ, යම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව තර්ජනයට ලක් වී තිබෙන බවට හෝ එලෙස තර්ජනයට ලක් වීමේ අවදානමක් තිබෙන බවට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් සහ එබඳු තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම්, එබඳු අවස්ථාවක හමුදාව කැඳවීමට ජනාධිපතිට බලය ඇති බවය.

මෙම වගන්තියට අනුකූලව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හමුදාවට පොලිස් බලතල ලබා දීමට ජනාධිපතිවරයාට බලය පවතී.

ඒ අනුව, හදිසි සෝදිසි කිරීම් මෙන් ම අත්අඩංගුවට ගැනීමේ බලය ද හමුදාවට පැවරෙයි.

2009 වසරේදී රට තුළ පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව එතෙක් ක්‍රියාත්මක වූ හදිසි නීතිය අවලංගු කෙරිණි. ඉන්පසුව, පළමු වරට පොලිසිය විසින් සිදු කරන සිවිල් රාජකාරීන් සඳහා සන්නද්ධ හමුදා මැදිහත් කර ගැනීම සඳහා (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ 2010 ජූලි 06 දින 1656/45 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මෙම නියෝගය පනවා තිබිණි.

පසුකාලීනව මෙම ගැසට්ටුව විවිධ ජනාධිපතිවරුන් දීර්ඝ ලෙස පවත්වාගෙන ආ අතර, පසුගිය දා බලයට පැමිණි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද මහජන ආරක්ෂක ආඥා පනතේ ඉහත කී ප්‍රතිපාදනය අනුව සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒවාට අයත් දේශීය මුහුදු තීරයන්ට බලපැවැත්වෙන පරිදි සැප්තැම්බර් 26 වන දා සියලු සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වෙනත් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ වාර්තා නොවන අවස්ථාවක ය.

‘ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ යුතු යි’

ජ්‍යේෂ්ඨ නීතීඥ කමල් විජේසිරි පැවසුවේ, මෙම නියෝගය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව ය.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනත යටතේ ත්‍රිවිධ හමුදාව සිවිල් කටයුතුවලට කැඳවීමේ බලය තියෙනවා. නමුත් සිවිල් වැඩකටයුතු සඳහා හමුදාව කැඳවීමට අවශ්‍ය වන්නේ පොලිසිය විසින් සිදු කරන සිවිල් කටයුතු හමුදාවට පවරන්න හේතුවක් වෙන්නේ රටේ කැරලි කෝලාහලයක් එහෙමත් නැති නම් යම්කිසි විශේෂ මෙහෙයුමක්, රට අස්ථාවර වීමක්, රටේ මහජනයාගේ සාමය පවත්වාගෙන යාමේ සාමාන්‍ය රාජකාරීවලට පොලිසියේ කාර්ය භාරය ප්‍රමාණවත් නොවන තත්ත්වයකදී පමණ යි.

එවැනි කිසි ම තත්ත්වයක් නොමැති වර්තමානයේ ඇයි එහෙම ගැසට්ටුවක් නිකුත් කළේ, කියන එක ප්‍රශ්නයක්. ඒ සඳහා ඒ නියෝගය පනවපු ජනාධිපතිවරයා ම පැහැදිලි කිරීමක් කළ යුතු යි,” නීතීඥවරයා පෙන්වා දුන්නේ ය.

“සාමාන්‍ය ජන ජීවිතය සම්බන්ධයෙන් සියලු කටයුතු කරන්න බලය තියෙන්නේ, ශ්‍රී ලංකා පොලිසියට. පොලිසියට තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබා දීලා නෑ. උදාහරණයක් වශයෙන් කිසි ම හමුදා භටයෙකුට පොලිසියට වගේ පාරේ යන වාහනයක් නවත්වන්න, සෝදිසි කිරීම් කරන්න, සහ සාමාන්‍ය ජනතාවට අදාළ වන සිවිල් කටයුතු කරන්න බලයක් නෑ. ඒ නිසා මම පෙර කී පරිදි මෙවැනි බලයක් හමුදාවට ලබා දෙන්නේ විශේෂ ආරක්ෂක හෝ සමාජීය තත්ත්වයක් රට තුළ පැන නැගුණොත් විතර යි.”

‘මාසෙන් මාසෙට මේ ගැසට් පත්‍රය නිකුත් කරනු ලබනවා’ – අමාත්‍ය විජිත හේරත්

රට තුළ සාමකාමී තත්ත්වයක් පවතින මෙවැනි අවස්ථාවක මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ සන්නද්ධ හමුදා කැඳවීමක් සිදු කීරීමට හේතුව කුමක් දැයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පැවසුවේ, අවශ්‍ය වුවහොත් හමුදාව කැඳවීම සඳහා මෙම නියෝගය පනවා ඇති බව ය. එමෙන් ම එය මාසයෙන් මාසයට නිකුත් කරන ගැසට් පත්‍රයක් බව ද ඔහු කියා සිටියේ ය.

“මේක අලුත් දෙයක් නොවෙයි. මොකක් හරි තත්ත්වයක් ඇති වුණොත් හමුදාව කැඳවීම සඳහා බලය පැවරීම සඳහා වන ගැසට් පත්‍රය. මාසෙන් මාසෙට මේ ගැසට් පත්‍රය නිකුත් කරනු ලබනවා. මේක නව ජනාධිපතිවරයා පත්වුණාට පස්සේ නිකුත් කරපු අලුත් ගැසට් පත්‍රයක් නෙවෙයි,” අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ය.

“යම්හෙයකින් රටේ හදිසි ආරක්ෂක තත්ත්වයක් ඇති වුණොත් හමුදාව කැඳවීමේ බලය තිබිය යුතු යි. ඒ සඳහා නිකුත් කළ ගැසට් පත්‍රයක් පමණ යි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

කෙසේ වුවත් මෙම ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට අමතරව, රටේ යම් ප්‍රදේශයක් තුළ පොලිසියට පාලනය කළ නොහැකි හදිසි තත්ත්වයක් උද්ගත වී තිබේ නම්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 90 වන වගන්තියට අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට වඩා උසස් නිලයක් දරන පොලිස් නිලධාරියෙකුට බලය ද හිමි ය.

‘මාසෙන් මාසෙට අලුත් ගැසට් නිකුත් කිරීම බලය වැරදි ලෙස භාවිත කීරීමක්’

නීතීඥ කමල් විජේසිරි පෙන්වා දෙන්නේ මෙම ගැසට් පත්‍රයෙන් නිකුත් කරන නියෝගය දින 30කට පමණක් සීමා වන බවත්, ඊට වඩා වැඩි කාලයක් එය පවත්වා ගත යුතු නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බවත් ය. කෙසේ වුවත් ජනාධිපතිවරුන් එසේ නොකර නැවත නැවත අලුත් ගැසට් පත්‍ර මඟින් අලුත් නියෝග පනවමින් බලය වැරදි ලෙස භාවිත කළ බව ඔහු පෙන්වා දෙයි.

“ආඥා පනතට අනුව දින 30ක කාලයක් සඳහා මේ නියෝගය සිය අභිමතය පරිදි පනවන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. එය තවදුරටත් දීර්ඝ කරනවා නම් 30 වන දින හෝ ඊට පෙර පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත යුතු යි.”

“නමුත් පහුගිය කාලේ හිටපු හැම ජනාධිපති කෙනෙක් ම වගේ කළේ පාර්ලිමේන්තුවෙන් අවසර ගන්නේ නැතිව අලුතෙන් ගැසට් ගහපු එක. ඒක තමන්ට ලැබුණු බලය වැරදි ආකාරයට සහ පහත් ආකාරයට භාවිත කිරීමක්. ජනාධිපති විසින් ගනු ලබන තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව දැන දැන ම ඒක පාර්ලිමේන්තුවට නොදාන්නේ ම එතන යම්කිසි වරදක් තියෙන නිසා යි. පාර්ලිමේන්තුවෙන් නීත්‍යනුකූල විදිහට දීර්ඝ කිරීමක් සම්මත කර ගන්නේ නැතිව අලුත් අලුත් ගැසට් ගහනවා,” නීතීඥවරයා පැහැදිලි කළේ ය.

සිවිල් රාජකාරී සඳහා හමුදාව මැදිහත්වීමේ ගැටලුව කුමක් ද?

මීට පෙර, ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථයට අයත් වූවක් අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2013 අගෝස්තු 16 වන දින නිකුත් කරන ලද අංක 1823/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ඒ, එවකට ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර තිබියදී, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක් සම්බන්ධයෙන් පැවැත්වූ මහජන උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට යුද්ධ හමුදාව වෙඩි තබා සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ පසුබිමක ය.

වර්තමානය වන විටත් පොලිසිය පවතින්නේ ආරක්ෂක අමාත්‍යංශයට පිටින් ඇති මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

ජ්‍යේෂ්ඨ නීතීඥ කමල් විජේසිරි පෙන්වා දෙන්නේ, පොලිසිය සහ සන්නද්ධ හමුදාවලට ඉටු කිරීමට ඇති රාජකාරි පැහැදිලිව ම වෙනස් ඒවා බව ය. ඔවුන්ව පුහුණු කර ඇත්තේ ද ඒ ඒ රාජකාරීවලට ගැලපෙන ආකාරයෙන් නිසා සිවිල් කටයුතුවලට හමුදාව කැඳවීම ප්‍රශ්නසහගත බව ඔහුගේ අදහස යි.

“සිවිල් ජනතාව සමග වැඩ කරන ආකාරය, පළපුරුද්ද සහ ඉගැන්වීම මෙන් ම සිවිල් සමාජය හසුරුවන්න ඕනෑ කොහොම ද කියන එක ගැන පුහුණුවක් ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. හමුදාවේ ඉගැන්වීම් වෙනස්. හමුදාවට උගන්වලා තියෙන්නේ යුද්ධ කටයුතු ගැන. එහෙමත් නැති නම් යුද්ධ මෙහෙයුම් ගැන.”

“මේ විෂය පථයන් දෙක සම්පූර්ණයෙන් ම වෙනස් දෙකක්. තුවක්කුවක් අරගෙන එන කෙනෙක් මෙල්ල කරන්න හමුදාවට උගන්වනවා. තුවක්කුවක් ඇතිව හෝ නැතිව එන සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කටයුතු කරන විදිහ පොලිසියට උගන්වනවා. ඒ දෙක ක්‍රම දෙකක්,” නීතීඥවරයා අවසන් වශයෙන් පැවසුවේ ය.

බීබීසී සිංහල සේවය

Social Sharing
අවකාශය නවතම විශේෂාංග