මෙම සතියේ ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ සංචාර දෙකක්!

President Anura Kumara Dissanayake S. Jaishankar Krishna Srinivasan Author

අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ හමුවක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් කොළඹට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නව වාමාංශික නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, අසල්වැසි රාජ්‍ය කෙරෙහි ඉන්දියාවේ මිත්‍රශීලීත්වය ප්‍රකාශයට පත් කිරීම මෙම හමුවේ අරමුණයි. ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කෙරෙන ඉන්දියාවේ විදේශ කටයතු අමාත්‍ය එස්. ජෛශංකර්ගේ සංචාරය ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවට විදේශ අමාත්‍යවරයෙකුගේ පළමු සංචාරය ද වනු ඇත.

අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී කලාපීය ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන සහාය පිළිබඳව සාකච්ඡා කරනු ඇත. විශේෂයෙන් දිවයින ආර්ථික අභියෝගවලට මුහුණදෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ යථාතත්වයට පත් වීමේ ප්‍රයත්නයන්ගේ සහ සංවර්ධනයේ ප්‍රධාන උපකාරක රටක් ලෙස ඉන්දියාව ක්‍රියා කරයි.

අමාත්‍ය එස්. ජයශංකර් මහතාගේ සංචාරයට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් කොළඹට පැමිණෙන අතර ඔක්තෝබර් 02 සිට 04 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන යටතේ රට තුළ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සංචාරය සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකාව සිය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ක්‍රියාකරන මොහොතකය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අනුව දූත පිරිස නවතම ආර්ථික වර්ධනයන් සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරන බවත්, ඔවුන්ගේ සංචාරය අවසානයේ යාවත්කාලීනයක් ලබා දෙන බවත් ය.

මෙම ඉහළ පෙළේ චාරිකා දෙක රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.

-චේතනා ගෝමිස්-

Social Sharing
අවකාශය නවතම