ජාජබ ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තව දුරටත් තියා ගන්න බව ප්‍රකාශ කරලා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය රාජ්‍ය පාලනය යටතේ තියා ගන්න අවශ්‍ය බව ජාජබ ආර්ථික ප්‍රධානියා පවසනවා. සමාගම පාඩු නොලබන,වඩා කාර්යක්ෂම තත්වයකට ගෙනෙන බවත් ඔහු පවසනවා.
යම් මාර්ගයක මගී ගමනාගමනය සඳහා ඉල්ලුමක් තියනවා නම් ඉතා ඉක්මනින් එයට සරිලන සැපයුමක් තරගකාරී ගුවන් සමාගම් වලින් සපයන බව කොවිඩ් සහ ආර්ථික අර්බුද වලින් පසු පෙනුනා. අහෝසි කර තිබුණු ගුවන් ගමන් වාර වේගයෙන් වැඩි කල බවත් පෙනුනා. සංචාරකයන් එනවා නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන සැපයුම වෙළෙඳපොළ විසින් සපයනු ඇත. එයට රාජ්‍ය සතු ගුවන් සේවයක් අනවශ්‍යයි.
ප්‍රමාණවත් ඉල්ලුමක් නැති, එනිසා පාඩු ලබන ගුවන් මාර්ග වල සේවා පවත්වා ගෙනයෑමට නම් දේශපාලන හේතු මත තීරණ ගන්නාවූ ගුවන් සේවයක් අවශ්‍යයි. හොඳම උදාහරණය කාදිනල් තුමාගේ ඉල්ලීම මත කොළඹ සහ ඉතාලියේ ගමනාන්ත වෙත සෘජු ගුවන් සේවා පවත්වා ගෙන යෑමයි.
ඒවගේ තීරණ ගන්නේ දේශපාලන අධිකාරිය. පාඩුව දරන්නේ කාදිනල් තුමා නොවෙයි, බදු ගෙවන අපි. ප්‍රමාණවත් ඉල්ලුමක් නැති මාර්ග වල සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සේවා පවත්වා ගෙන යෑමේ පාඩුව දරන්න වෙන්නෙත් බදු ගෙවන අපටයි. එන සංචාරකයන්ගෙන් ජනනය වන ආදායම ලබාගන්නේ ගුවන් සේවය හෝ එහි අයිතිකරු වන රජය නොවෙයි, හෝටල් කරන සමාගම්.
මේ තර්කය යටතේ ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තබා ගත්තොත් එය කාර්යක්ෂම කිරීමේ සහ පාඩු නොලබන තත්වයකට ගෙන ඒමට බැරි වෙනවා. රජය යටතේ තබා ගෙන කළමනාකරුවන්ට වාණිජ තීරණ ගැනීමට පූර්ණ නිදහස දුන්නොත් කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙත යන්න පුළුවන්. නමුත් ඔය සංචාරක ප්‍රවර්ධන අරමුණ අතහරින්න වෙනවා.
සත්‍ය වශයෙන් ගුවන් සේවය කාර්යක්ෂම කිරීමට නම් තව ආයෝජන අවශ්‍යයි. පරණ ගුවන් යානා තියා ගෙන කාර්යක්ෂම සේවයක් සපයන්න බැහැ. අයිතිය සියයට සීයක් රජයේ නම් ඒ ආයෝජන කරන්න වෙන්නේ රජයට.
රජයට මුදල ප්‍රභව දෙකක් තියෙනවා. එකක් මහා භාණ්ඩාගාරය. ඒ කියන්නේ ඔබේ මගේ බදු මුදල්. දෙවැන්න රජය ඇපවී ලබාගන්න ණය.
මේ දෙකටම IMF එකඟතාවය වැට බැඳලා තියෙන්නේ. ඉතින් එම ගිවිසුම බලාත්මක කාලය තුල ආයෝජන රහිතව බැරි ගානට තමයි දුවන්න වෙන්නෙ. ඒ කියන්නේ කෙටි කාලීනව කාර්යක්ෂමතා අරමුණ ඉෂ්ට කරන්න බැරි බවයි.
හිතමු කොහොම හරි මේක ඇදගෙන යනවා කියල IMF ගිවිසුම ඉවර වෙන තුරු. ඒ වෙනකොට ගුවන් යානා තවත් පරණයි. ආයෝජන අවශ්‍යතාවය තවත් වැඩියි හදිසියි. නමුත් මුලික ප්‍රශ්නෙ තවමත් එහෙමමයි.: භාණ්ඩාගාරයද, රජය ඇපවු ණයද? කොයි විකල්පය තේරුවත් බිල ගෙවන්නේ අපි. වැඩි බදුද? මුදල් අච්චු ගහල උද්ධමනයද? සත්‍ය තේරීම ඔය විකල්ප දෙක අතරින් තමයි.