2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහත පරිදි වේ.
2024 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතුළත් ප්‍රශ්න විභාගයට කලින් සාකච්ඡා කරන ලදැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වහාම විමර්ශන ආරම්භ කරන ලදී. එම විමර්ශන වලදී අනාවරණය වූයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවත්, එය පෙර දින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවත්ය. ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව එම මූලික පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පරීක්ෂණ වලින් අතුරු වාර්තාවක් අධ්‍යාපන ලේකම් වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාව මගින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ ලේඛනය විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවත්, ඒ අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිට වී ඇති බවත්, තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් ලැබුණු අනෙකුත් පැමිණිලි විමර්ශනයට ලක්කළ අතර මීට අමතරව ප්‍රශ්න පිට වී ඇති බවක් තහවුරු නොවේ.
අධ්‍යාපන විෂය භාර ගරු අමාත්‍ය තුමියගේ උපදෙස් මත මෙම ගැටලුව සහ ගැටලුවට ලබාදිය හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන ලේකම් මගින් අධ්‍යාපන විෂය භාර ගරු අමාත්‍ය තුමියට ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව අධ්‍යයනය කර, ගත යුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂයභාර ගරු අමාත්‍යතුමිය විසින් පත් කරන ලදි. එම කමිටුව අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විය.
විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවත්, වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බවත් එකී විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇත.
එමෙන්ම විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ටත්, දරුවන්ගේ දෙමව්පියන්ටත් පාසල් පද්ධතියටත් දැඩි පීඩාවක් ගෙනදෙන බව කමිටුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඒ අනුව, එම විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියා කිරීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමු. එසේම ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටිමු.