ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව

පරීක්‍ෂණ ආයෙත් මුලටමද….? පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදු කළ සංවිධානාත්මක ප්‍රහාරයක් ශානි අවධාරණය කරයි, බුද්ධි අංශ වැරදි තොරතුරු දීලා විමර්ශනය නොමග හැරිය…එක බරපතළ ගැටලුවක්.

දිනය 2019 අප්‍රේල් මස 21 දා පාස්කු ඉරිදාය. එදින මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ මෙරට අගනගරය වන කොළඹ නගරයේ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන්නට විය. එම ප්‍රහාර මාලාව එතැනින් නවතින්නේ නැත.

දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද දෙහිවල පිහිටි නිවාස සංකීර්ණයත් ලැගුම්හලකදීත් තවත් සුළු පිපිරීම් කිහිපයක් වාර්තා වන්නටද විය. එදින හිත්පිත් නැති ම්ලේච්ඡ ප්‍රහාර මාලාවට ගොදුරුවූයේ රටේ අහිංසක ජනතාවය. විදෙස් ජාතිකයන් හතළිස් පස්දෙනකුද, පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා පුද්ගලයන් 277 දෙනකුගේ ජීවිත අහිමි කරන්නට මේ බිහිසුණු ප්‍රහාරයට වැඩිවේලාවක් ගතවූයේ නැත. ප්‍රහාරය එතරම්ම දරුණුය. සිත කම්පනය කරන සුළුය. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ද පන්සියයකට අධිකය. අත් පා අහිමිවීම්, දෙනෙත් අන්ධවූවන්ද, සදාකාලික අබ්බගාත වූවෝද මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ වූහ. ම්ලේච්ඡ ප්‍රහාරයක ඛේදනීය ඉරණම පාස්කු ඉරිදා උදාවූයේ එලෙසය. ප්‍රහාර මාලාවේ බිහිසුණු බව තවත් තීව්‍ර කරන්නේ මීගමුව, මඩකලපුව සහ කොළඹ කොච්චිකඩේ යන දේවස්ථානවලට ප්‍රහාර එල්ල වන්නේ පාස්කු ඉරිදා දේව මෙහෙයන් අතරතුර වීමය. මේ අයුරින් මෙරට ප්‍රධාන දේවස්ථාන තුනකදී දේව මෙහෙයන්ට සහභාගි වූ අහිංසක ක්‍රිස්තියානි බැතිමත්හු සිය ඉරණම් ගමන යන්නේය. කොළඹ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යනු මේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අනෙකුත් හෝටල්ය. එදින ත්‍රස්තයන් විසින් දෙවන ප්‍රහාර මාලාවක් සැලසුම් කර තිබුණද රාජ්‍ය බුද්ධි සේවයට අනුව රජය සිදුකළ වැටලීම් හේතුවෙන් එම ප්‍රහාරය මැඬපවත්වා ගැනීමට හැකිවිය.

පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ ක්‍රිස්තියානි ආගමික බැතිමතුන්, අහිංසක වැසියන්ගේ දුක් අඥෝනා තවමත් මෙරට රැව්පිළිරැව් දෙන්නේය. දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට තම දරුවනුත්, සහෝදර සහෝදරියන්, ඥාතීන් අහිමිකළ ඒ බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට මේවනවිට වසර පහකුත් ගෙවී අවසන්ය. එහෙත් මෙම බිහිසුණු අපරාධය සිදුකළ අපරාධකරුවන්ට මෙතෙක් දඬුවම් හිමිවූයේ නැති බව අප කියන්නේ රටේ නීතිය ගැන තරමක කළකිරීමෙන්ද යුතුවය. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් කිතුනු බැතිමත්හුද, කාදිනල් හිමිපාණෝද බලා සිටින්නේද කොයි මොහොතක හෝ අහිංසක කිතුනු බැතිමතුන්ට ජීවිතය අහිමිකළ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නීතියේ දඬුවම හිමිවෙන තුරුය. එමෙන්ම ජාත්‍යන්තරයද මේ ගැන අවධානයෙන් සිටින්නේය. ඉතා දීර්ඝ කාලයක් අධිකරණයක නඩු විභාග වෙමින් පවතින පාස්කු ප්‍රහාර නඩුවේ මහමොළකරුවා කවුරුන්ද යන්න සැබැවින්ම හෙළිදරවු විය යුතුය.

 

පැහැර හැරිය වගකීමට අධිකරණයෙන් දඬුවම්

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය විසින් තීන්දුවක් දුන්නේය. ඒ අනුව අධිකරණය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක්ද, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක්ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක් තම පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම කළේය. මෙම ප්‍රහාර සම්බන්ධව මේ වනවිට ගරු අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවන හෙයින් බොහෝ කරුණු කාරණා අපි කතා නොකරන්නෙමු. එහෙත් මෙම ප්‍රහාරයට අවුරුදු පහක කාලයක් තිස්සේ එහි මහමොළකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට නොහැකිවී ඇත. පසුගිය කාලය තුළදී මෙරට පාර්ලිමේන්තුව තුළද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාද විවාද ඇති විය. පසුගියදා පැවැති විවාදයකදී මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා කියා සිටියේද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිතරම කාදිනල්තුමා විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති බවත් විවාදයේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරු දක්වපු කරුණු කාදිනල් තුමා දක්වන කරුණුවලට බොහෝ දුරට සමාන බවය. පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් නොවීමේ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ රටේ සියලුම බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේ දැයි සැකයක් මතුවන බව වරෙක කාදිනල් හිමියෝ පැවසූහ. උන්වහන්සේ කියා සිටියේ මියගිය මිනිස්සුන්ගේද තුවාල ලැබූ අයගේ ද දුක් අඳෝනා අහසට මොර දෙන බැවින් මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බව තමන් තරයේ විශ්වාස කරන බවය.

 

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය කාලයේ වැලිතලාවෙන් වැසීයාමට කිසිවිට ඉඩක් ලැබෙන්නේ නැත. මේ තුච්ඡ ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවා කෙසේ හෝ සොයාගත යුතුව ඇත. මින්පෙර පැවැති ආණ්ඩුද බලයට එන්නේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙන බව පවසමින්ය. වින්දිතයින්ට සාධාරණය යුක්තිය ඉටුකරදෙන බවට බලාපොරොත්තු දෙමින්ය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

 

ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව

එවත් තත්ත්වයක් තිබියදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පසුගිය (25දා) බිහිසුණු හෙළිදරව්වක් කළේය. ඔහු එම හෙළිදරව්ව කළේ සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යයේ සෙවැනැල්ල සහ නොවිසඳුන අබිරහස් නම් ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. ඇත්තටම ඔහුගේ එම ප්‍රකාශය අසන්නන් තැතිගන්වන සුළුය. අපි ඔහුගේ එම කතාවේ සංවේදීම කොටස් උපුටා දක්වන්නෙමු. සැබෑව කවුරුකවුරුත් තේරුම්ගත යුතුය.

“මෙම ප්‍රහාරය හුදකලාව අප්‍රේල් මාසයේ 21 වැනිදා සිදුවූවක් නොවේ. මෙය යම් කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදුකළ සංවිධානාත්මක ප්‍රහාරයක් බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. යම් කණ්ඩායමක අවශ්‍යතාවයකට අනුව මෙය සිදුවුණා කියන එකත් අනාවරණය වූ සාක්‍ෂි අනුව පැහැදිලිව පෙනී යනවා.

ඒ අනුව දැනට විමර්ශනය කර ඇති කොටස්වලින් බොහෝ කරුණු එළියට ඇවිත් තියෙනවා එම කුමන්ත්‍රණය කොහොමද සිද්ධවුණේ කියලා. නමුත් එක එක කොටස් සම්බන්ධීකරණය කිරීම සොයන්න තවදුරටත් විමර්ශන පැවැත්විය යුතුයි. සිද්ධීන් අටකදී සිදුවූ බෝම්ම ප්‍රහාරයන් හා 2018 නොවැම්බර් 30 සිදුවූ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, 2018 දෙසැම්බර් මස 23 සිට 2018 දෙසැම්බර් මස 26 දක්වා මාවනැල්ල ආශ්‍රිතව සිදුවූ බුදුපිළිම වලට පහරදීම් ඇතුළු සිද්ධීන්, 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුවේ ලැක්ටොවත්තේදී සොයාගත් අතිවිශාල පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සිදුවීම් හා ඊට අදාළ සාක්‍ෂි ද ඉන්පසු 2019 අප්‍රේල් මස 16 වනදින මඩකලපුව ප්‍රදේශයේදී දුරස්ථ පාලකයකින් පුපුරවා හරින ලද බෝම්බය හා සම්බන්ධ සිද්ධීන් සහ 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය අතර අනාවරණය වූ අන්තර්සම්බන්ධතාව ගැන පමණයි දැනට පරීක්‍ෂණ සිදුකර තිබෙන්නේ. අද මේ සභාවේදී අනාවරණය වුණා හන්සීර් මවුලානා කියල පුද්ගලයෙකු ගැන. හන්සීර් මවුලානා කියන තැනැත්තාගේ සාක්‍ෂිය ඉතාම ගැඹුරින් විමර්ශනය කළ යුතුයි. මම හිතන්නේ ඒ ගැන තවම කවුරුත් අතගහලවත් නෑ. එහි තියෙන එක සංවේදී කරුණු කිහිපයක් ගැන පමණක් මම කියන්නම්.

ඔහු සඳහන් කරනවා මීට නම ඈඳුන කෙනෙක් අප්‍රේල් මාසයේ 21 වැනිදා දුරකථනයෙන් ඇමතුමක් දෙමින් කිව්වා කියලා “ටාජ් සමුද්‍රා හෝටලයේ ඉන්නවා අපේ කෙනෙක් එයාව එළියට ගන්න” කියලා. නමුත් ඔහු කියනවා “මම ඉන්නේ මඩකලපුවෙ. මට ඒක කරන්න අමාරුයි කියලා. ඊට පස්සේ ටාජ් සමුද්‍රා හෝටලයේ පිපිරවීම් සිදුකරගන්න උත්සාහ කළ ජමීල් කියන පුද්ගලයා සීසීටීවී එකේ අපි දකිනවා. නමුත් මඳ වේලාවකින් අපි අර සීසීටීවී එකේ දකිනවා ඔහුගේ දුරකථනයට කෝල් එකක් එනවා. එතනදී ෆෝන් එක බ්ලින්ක් වෙනවා. එහිදී අතක් පෙනෙනවා. ඒ අත අනිවාර්යයෙන්ම ජමීල්ගේ විය යුතුයි. ඒ දුරකථනය අරගෙන තත්ත්පර ගණනකදී ඔහු බැක් පැක් එකත් ඇඳගෙන ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටත් වෙනවා.

ඊට පස්සේ තමයි ඔහු ට්‍රොපිකල් ඉන් කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලට ජමීල්ව එක්කන් යන්නේ. ඊට පස්සේ එතන කාමරයක් බුක් කරලා ඔහු තමන්ගේ බැක් පැක් එක තියලා එය ආසන්නයේ තියන පල්ලියකට එනවා. එතකොට එතනදී ඇතිවන සැකයක් මත පල්ලිය චෙක් කරන්න එන ආරක්‍ෂක නිලධාරියකුට එතන ඉන්න මහජනයා දැනුම් දෙනවා මොහු සැකයි කියලා. මොහු ප්‍රශ්න කරද්දී ජමීල් කියනවා “මම බිරිඳත් එක්ක බහින්බස් වීමක් වෙලා ආවේ. ඕන නම් බිරිඳගේ දුරකථන අංකය දෙන්නම් බිරිඳගෙන් අහන්න” කියලා. බිරිය කියනවා “කතාවක් ඇතිවෙලා එය පිටවෙලා ගියා. හැබැයි බුද්ධි අංශයෙනුත් ඇවිත් දැන් එයා ගැන හොයනවා එයා ගෙදර ඉන්නවද කියලා.” ඒ වෙලාවේ ඕමාර් ඛත්තා කියන ජමීල්ගේ බිරිය ආරක්‍ෂක නිලධාරීන්ට කියනවා. ඉන් පසුව ජමීල්ව චෙක් කරපු හිටපු පොලිස් නිලධාරියා එතැනින් පිටවෙලා යනවා. ටික වෙලාවකදී විනාඩි දහයකින් විතර කෝල් එකක් එනවා ජමීල්ගෙ බිරිඳගේ ෆෝන් එකෙන්. “ඔය මනුස්සයා ඔතන තියාගන්න.. අපි ඔතනට එනකම්..” කියලා. මේ එක සිද්ධියක්.”

 

පොලිස් අධිකාරී ශානි අබේසේකර දෙවන සිද්ධියද වන වව්නතිව් සිද්ධිය දිගහැරියේ මෙලෙසය

අනිත් කාරණය තමයි වවුනතිව් පොලිස් නිලධාරීන් 2018 නොවැම්බර් මාසේ 30 වැනිදා ඝාතනය වෙච්චි ස්ථානය. මම එතෙනට යැව්වා ටීම් එකක් විමර්ශනයට. දීර්ඝ පරීක්‍ෂණයක් කරන අතරෙ 2018 දෙසැම්බර් මාසෙ 03 වැනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අපේ රවී සෙනවිරත්න මහත්තයට දුරකථනයෙන් කතා කරලා කියනවා “සර්, මේ මර්ඩර් එකට යූස් කරපු ජැකට් එකක් හම්බවෙලා තියෙනවා…. ඒ ගැන ඉන්ක්වයරි කරන්න” කියලා.

ඒ අපරාධ ස්ථානය මගහැරලා කෙළින්ම ඒ වෙනකොට බුද්ධි අංශ මගින් ලබාදුන්න තොරතුරු මත විමර්ශනය කරනවා. වව්නතිවු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගත්ත අජන්තන් කියන පුද්ගලයාගේ ගෙදරට තමයි බල්ලා ගියේ. අනික තමයි මේ ජැකට් එක විවෘත ස්ථානයක තිබුණෙ.. මේ සිද්ධිය වෙන්නේ නොවැම්බර් මාසේ 30 වැනිදායි. තොරතුරු දීපු දෙසැම්බර් මාසේ 03 වැනිදා අතර පැය 72 ක් ගතවෙලා. එතකොට ඒක කොහොමටවත් තියෙන්න බෑ. අනිත් එක ඒ හම්බවෙච්ච බෝක්කුව ළඟින් පල්ලෙහාට බැහැලා කුඹුරකට යනවා මනුස්සයෙක්. කුඹුර අයිතිකාරයගෙනුත් අපි කටඋත්තර ලිව්වා. ප්‍රශ්න කළා. ඔහුත් කියනවා අද උදේ මම මෙතැනින් ගියා මේ ජැකට් එකනම් මෙතන තිබුණෙ නැහැ කියලා.

හමුදා බුද්ධි වාර්තා

යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්තයගෙ නමට එවනවා මේ වවුනතිව් ඝාතනය සම්බන්ධ බුද්ධි වාර්තා හතරක්. ඒ හතරෙම සඳහන් වන්නේ මේක එල්.ටී.ටී.ඊ සංවිධානය තමයි මේක කළේ කියලා. ඔවුන්ගේ වාර්තාවල් අපට සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. අප්‍රේල් 25 දා ගෆූර් මාමා අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමයි අපට අනාවරණය වෙන්නේ සහරාන්ගේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවලා තිබුණ ජාතික තවුහිද් ජමාද් සංවිධානය තමයි මේ ඝාතනයට වගකිව යුත්තේ කියලා. ඇයි බුද්ධි අංශ මේ වගේ තොරතුරු දීලා විමර්ශනය නොමග හැරියෙ කියන එක බරපතළ ගැටලුවක්.” පොලිස් අධිකාරී ශානි අබේසේකර කියන්නේය. ඔහු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව සිහිපත් කරන්නට විය. එනම් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාධ්‍යයට පිළිතුරු දෙමින් මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් බව සනාථ කිරීම සඳහා හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයා සහ හමුදාපති මහේෂ් සේනානායක තවත් නිලධාරීන් දෙදෙනෙක් සමඟ ගත් උත්සාහය පිළිබවද ඔහු සිහිපත් කළේය.

“එහෙමනම් රාජ්‍ය නායකයන් නොමග යවලා තියෙනවා මේ හමුදාපතිතුමත් බුද්ධි අධ්‍යක්‍ෂකත් ඔහු කියන්නේ එලෙසය.සයින්දමරුදු ගිනි අවියද මෙම ප්‍රහාර මාලාවට සම්බන්ධ බවටද ඔහු පැහැදිලි තොරතුරු ප්‍රමාණයක් හෙළිකරන්නට අමතක නොකළේය.

“සයින්දමර්දු වලදී සොයාගත්ත ගිනි අවිය රස පරීක්‍ෂකවරයාට යැව්වාම වව්නතිව් නිලධාරීන් ඝාතනය කරල තිබුණ තැනදි අහුවෙච්චි පතොරොම් කොපු අටම හරියටම ටැලි වෙනවා ගිනි අවියට. එතකොට ඒ ගිනි අවිය සොයා ගැනීමෙන් පසු නැවතත් ගවුෆර්ව ගෙන්වලා පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් කරනව. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ ගිනි අවිය කවුද ගත්තේ කියලා. ඒ කතන්දරය කිව්ව ගමන්ම SIU එකේ, ඒ කියන්නෙ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ තිබ්බ විමර්ශනය වහාම නවත්වලා ඒකත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. එතනින් එහාට ඒ විමර්ශනය යන්නේ නෑ. මේවා සොයාගෙන යද්දි තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වැනිදා. එවකට මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ. කිසිදු හේතුවක් සඳහන් නොකර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වශයෙන් ස්ථාන මාරුවීමක් ලැබෙනවා.” ඒ ඔහු හෙළිකළ ආන්දෝලනාත්මක සාක්‍ෂි ය.

පසුගිය ගෝඨාභය රාජපක්‍ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර 04 ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු එළිවෙමින් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට අපොහොසත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ශානි අබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන කොට්ඨාසය යටතේ විමර්ශන ආරම්භ කර ඇතැයිද ආරංචි ලැබෙන මාර්ග පවසයි. ශානි අබේසේකර හා රවී සෙනවිරත්න පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි බවට 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන් පසුවද එම ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව චෝදනා එල්ල කළ අතර ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ විමර්ශන කිහිපයක්ම සිදුවිය. එහිදී සිදුකළ විමර්ශනවලදී ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා අසත්‍ය බව අනාවරණය වීමෙන් පසු එහි එහි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඒ බව 2020 ඔක්තෝබර් 28 දින එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට වාර්තා කර ඇත. පොලිස් විශේෂ විමර්ශන ඒකකයද කළ විමර්ශන වලින් අනාවරණය වී තිබුණේද අබේසේකර මහතාට කරන චෝදන අසත්‍ය ඒවා බවය. එවන් තත්ත්වයක පැවතියදී ඔවුන් දෙදෙනා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් බලකායේ වේදිකාවට ගොඩවීම හේතුවෙන් යළිත් වරක් ඔවුන් දෙදෙනාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබේ. තවද පිටරට සිට යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අජිත් ධර්මපාල නම් හිටපු පොලිස් සාමාජිකයා තම යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් පළ කරමින් පසුගියදා පළකරන්නට යෙදුනේ ජනාධිපති උපදේශකයකුගේ නියෝග මත ශානි අබේසේකර යළි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවය.

දැනටමත් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් සාක්‍ෂි සාධක හමුවී ඇත. ඒ හේතුවෙන් මෙතෙක් කලක් නීතියට වසන් කළ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන දැන් හෙළිවෙමින් පවතින්නේය. කෙසේ හෝ මේ බිහිසුණු අපරාධය සිදුකළ කවරෙකු ගැන හෝ නිවැරදි පරීක්‍ෂණ සිදුකොට මේ බිහිසුණු අපරාධයට අදාළ පාර්ශ්වයන් හා ඊට සහායදුන් සියලු දෙනාටම නීතියේ ඉහළම දඬුවම පැමිණවිය යුතුය.

රමින්ද මාවතගේ – දිවයින

Social Sharing
අවකාශය නවතම විශේෂාංග