අලුත් ජනපතිට IMF සහාය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය වැඩසටහනේ තෙවැනි සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් නව රජය සමඟ සාකච්ඡා කරන බව ද… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. පසුගිය 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයකට විසඳුම් ලෙස මෙම විස්තීර්ණ ණය වැඩසටහනට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ බව ද දුෂ්කර ජයග්‍රහණ මත රට ගොඩනැඟීම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

පසුබෑමට ලක්ව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ විස්තීර්ණ ණය වැඩසටහන ප්‍රශස්ත මට්ටමකට පැමිණ තිබෙන අතර, පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසය වන විට ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව මඟින් ඉටු කර තිබෙන බව ද එම අරමුදල පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක මාස 48ක් සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනට අනුව මේ දක්වා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර, පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේ අවසානය වන විට සමාජ සුබසාධනය වෙනුවෙන් සිදු කරන වියදම් හැර සියලු ව්‍යුහාත්මක මිනුම් සපුරා තිබෙන බව ද 2024 අප්‍රේල් අවසානය වන විට බොහෝ ව්‍යුහාත්මක මිනුම් සලකුණු සපුරා තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

කෙසේ වුවද මේ වන විට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හා ණය ප්‍රතිව්‍යුහගතකරණ ඉදිරියට ගමන් කිරීම වැදගත් බව පෙන්වා දෙන එම අරමුදල ඉදිරියටත් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද මෙම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම්, ණය තිරසරත්වය හා අර්බුදයෙන් ගොඩඒමට හැකියාව පවතින බව ද පෙන්වා දෙයි. මෙම ණය වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට වාරික තුනක් නිදහස් කර තිබෙන අතරා එහි මූල්‍ය වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බව ද අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක වටිනාකමින් යුතු මෙම විස්තීර්ණ ණය වැඩසටහන සඳහා පසුගිය 2023 වසරේ මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

එහි පළමු වැනි ණය වාරිකය පසුගිය 2023 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අනුමත කළ අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 337ක් විය. එහි දෙවැනි වාරිකය මේ වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට හිමිවූ අතර, ඒ අමෙරිකානු ඩොලර් මිලියන 330කි. කෙසේ වුවද දැනට පවතින ආර්ථික ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමේ සලකුණු පවතින බව ද පසුගිය 2023 වසරේ දෙවැනි කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3කින් පමණ වර්ධනය වී තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර –  දිනමිණ

Social Sharing
නවතම පුවත්