ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි

election observation european union

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී 19දා පැවැසීය. ලිපිගොනු හා තාක්ෂණික සහයෝගය ලබාදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිටත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට ඉතාමත් හොඳ සහයෝගයක් ලබාදී ඇති බවත් ශෙව්වෙකෝව් මහතා කීවේය.
මේ අනුව 21දා කිසිදු පාර්ශ්වයක බලපෑමකින් තොරව සාමකාමී මැතිවරණයක් පවත්වනවාද යන්න නිරීක්ෂණය කිරීමට සියල්ල සූදානම් බවත් ඔහු කීය.
වයස අවුරුදු 18ට වැඩි ඡන්ද අයිතිය හිමි ශ්‍රී ලංකාවේ ඡන්දදායකයාට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබේද යන්න ජනාධිපතිවරණය දින හා ඉන්පසු ඡන්ද ගණනය කිරීමේ සිට ප්‍රතිඵල නිකුත් වන අවස්ථාව දක්වා නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ මහතා පැවැසීය.
ජනාධිපතිවරණ නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් පැමිණි බංග්ලාදේශය, නේපාලය, රුසියාව, පිලිපීනය, භූතානය, මාලදිවයින ඇතුළු රටවල් 7ක ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ ටාජ් සමද්‍රා හෝටලයේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ.
ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මෙම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පසුගිය දා (18දා) ශ්‍රී ලංකාව වෙත පැමිණියහ.
මේ අතර කොළඹ, යාපනය, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන ලෙස මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් මාලදිවයින නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂක ෆුවාඩ් තවුෆීක් මහතා මේ සම්බන්ධව අදහස් පළ කළේය.
ජනාධිපතිවරණය දා ඡන්දය ලබාදීමට යෑමේදී ඡන්දදායකයා හොඳින් සූදානම් වී යා යුතු බවත් අපේක්ෂකයන් 38ක් තරග කරන බැවින් තමා ඡන්දය ලබාදෙන අපේක්ෂකයා ඡන්ද පත්‍රිකාවේ සඳහන් තැන ගැන අදහසක් කලින්ම ඇති කරගෙන යෑම කාලය ඉතිරි කරගැනීමට හේතු වනු ඇති බවත් තවුෆීක් මහතා කීවේය.
නීතියට අනුව සෑම නිලධාරියෙක්ම සේවය කිරීමත් ඡන්දදායකයා සාමකාමීව කටයුතු කිරීමත් මඟින් සාර්ථක මැතිවරණයක් පැවැත්විය හැකි බවත් ඔහු කීය. මැතිවරණ නිරීක්ෂණයට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ මිතුරු රටවල් බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකි වේවායි ශ්‍රී ලංකා පුරවැසියන් වෙත සුබ පතන බවත් ඔහු පවසා සිටියේය.
මෙම ජාත්‍යන්තර නියෝජිතයන්ට අමතරව යුරෝපා සංගමය නියෝජනය කරමින් නිරීක්ෂකයන් 80ක් හා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දෙදෙනෙකු හා දේශීය මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු සිවිල් සංවිධාන මෙම මැතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහභාගි වීමට නියමිතය.

Social Sharing
අවකාශය පුවත්