ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය කියයි.
නිර්නාමිකව ලද එම පැමිණිල්ල අනුව බුලත්සිංහල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යොමු කර ඒ සම්බන්ධයෙන් කළ මූලික සොයා බැලීමෙන් අනතුරුව එම සේවකයන් පිරිසට හෙට (21) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදෙන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. එම සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු අවශ්‍ය නොවන බවට බලපෑම් කරමින් ඔවුන්ගෙන් ලිපි ලබා ගැනීමේ උත්සාහයක් ද පාලනාධිකාරිය මගින් සිදු කිරීමට උත්සාහ කළ බවට පවසමින් දෙවැනි වරටත් එම මධ්‍යස්ථානයට පැමිණිලි ලැබි ඇතැයි ද සඳහන්ය.
1981 අංක 15 දරන ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ පතේ 110 වගන්තිය අනුව එක් එක් සේවකයකුට දෙන නිවාඩු ප්‍රමාණය, ඔවුන්ගේ නම් මෙන්ම කාල සීමාව දක්වා ආයතනයේ ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය කරන ලෙස සහකාර තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියෝග මත අදාළ ගොවි පොළේ කළමනාකාරිත්වය වෙත දුරකතනයෙන් දැනුම් දීමට කටයුතු කළ බවත් ඊට අමතරව එහි කොස්ගම ප්‍රධාන කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගත් බවත් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේ නමුත් හෙට (21) මෙම ගැටලුව සම්බන්ධයෙන් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය දැඩි අවධානයෙන් පසුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.