නැගෙනහිර වෙරළ තීරය සිය නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පාරම්පරිකව ත්‍රිකුණාමලයේ මුතුර් සිට මඩකලපුව වාකරෙයි දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව සහ ඒ අවට දිවි ගෙවන ආන්තීකරණයට ලක් වූ පිරිසක් වේ. 2006 වසරේ මාවිලාරු මානුෂීය මෙහෙයුම සමඟ ප්‍රදේශයේ ඇතිවූ යුධ ගැටුම් හේතුවෙන් සංතෝෂපුරම් ඇතුළු අවට ගම්මාන රැසක පුද්ගලයන් එම ප්‍රදේශය අතහැර යාමට සිදුව ඇත. 2009 වසරේ ඔවුන් නැවත පදිංචිය සඳහා පැමිණ ඇති අතර ඔවුන් නැවත පැමිණෙන විට මුතූර් කරකඩච්චේනෙයි සංතෝෂපුරම් අක්කර 200ක ප්‍රමාණයක් රජය විසින් ගල් අඟුරු ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති අතර එම ප්‍රදේශය ඇතුළු සාම්පූර් ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් බවට ද පත්කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගෙන් එල්ලවූ බලවත් විරෝධය හේතුවෙන් යහපාලන ආණ්ඩුව සමයේ මෙම ගල් අඟුරු බලාගාරය අවලංගු කර දමා සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් නිදහස් කර ඇති නමුත් ඇතැම් පිරිසකගේ ඉඩම් තවදුරටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂිත කලාපයක් ලෙස මහජනතාවගෙන් ඉවත්කර ඇත. එමෙන්ම පසු කාලීනව මෙම ඉඩම් සුර්‍ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු සමාගමකට බදු දී ඇති බවට ද වාර්තා වී ඇත.
මෙම ප්‍රදේශයේ පුද්ගලයන් පවසන ආකාරයට අනුව යුධ සමයේ කිසිදු වීමසීමකින් තොරව රජය විසින් පවරාගත් මෙම අක්කර 200 තුළ ඔවුන්ගේ නිවාස, කෝවිල්, වැව්, කුඹුරු ආදිය විශාල ප්‍රමණයක් පිහිටා ඇති අතර ආදිවාසීන්ගේ පාරම්පරික ජීවන වෘත්තින් වන මී කැපීම, මිරිදිය ධීවර කර්මාන්තය හා පලතුරු එකතු කිරීම ද සිදු කර ඇත්තේ මෙම භූමින් තුළින්ය.
ඔවුන් පවසන ආකාරයට මෙලෙසින් ඉඩම් පවරා ගැනීමේ දි කිසිදු විමසීමක් ඔවුන්ගෙන් සිදු නොකර ඇති අතර මේ වන තුරුත් ඉඩම් අහිමි වූවන් සඳහා කිසිදු සාධාරණයක් ඉටු වී නොමැත. මේ ආකාරයට සිදුවන පවරා ගැනීමකදි අගතියට පත්වූවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමක් සිදුකරන නමුත් සාම්පූර් ප්‍රදේශයේ ජීවත් වූවන් හට සිය ඉඩම් අහිමි වී වසර 15ක් ගත වූවද තවමත් කිසිදු විසඳුමක් නොලැබී ඇත.
චේතනා ගෝමිස්