සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා.

මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි.

මෙම ඇස්තමේන්තු අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක වන අතර දෙවන තැන සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. කෙසේ වුවත්, තෙවන තැන සිටින රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටීම කැපී පෙනෙන කරුණක්. එහි හානිය වැඩි වශයෙන් සජිත්ටත් ඉතා සුළු වශයෙන් අනුරටත් සිදුව ඇති බව දැකිය හැකියි.

බැලූ බැල්මට මීට වඩා බොහෝ වෙනස් සේ පෙනෙන අනෙකුත් විවිධ “මත විමසුම්” වල දත්තද සංඛ්‍යානමය ගැලපුම් සිදු කිරීමෙන් පසුව මෙම ඇස්තමේන්තු හා සැසඳෙනවා. එමෙන්ම ප්‍රධාන කඳවුරු වල ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දැනට පවතින බලතුලනය පිළිබඳව එම කඳවුරු තුනටම අවබෝධයක් ඇති බවයි.

මේ අනුව, පැහැදිලිව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සටන වඩා තියුණු තුන් කොන් සටනක් බවට පත්ව ඇති ආකාරයයි. මෙම ජනාධිපතිවරණය අපේක්ෂකයින් 39 දෙනාගේම ඡන්ද වලට වටිනාකමක් ලබා දෙන ජනාධිපතිවරණයක්. එවැනි තත්ත්වයක් මීට පෙර පැවතී නැහැ.

#ඉකොනොමැට්ටා

Social Sharing
නවතම පුවත්