තවත් වරක් බංකොලොත් වීමට පෙර කියවිය යුතු පොතක්

ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් We Have a Dream සමූහය අතර සිදුවූ සංවාදයන් මුල් කරගෙන ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ. අමරතුංග විසින් රචනා කරන ලද විකල්පයක් නැත දැනුවත් කිරීමේ ග්‍රන්ථයෙන් අනතුරුව ඔවුන් විසින් ඔවුන්ගේ දෙවන ග්‍රන්ථය වන “බංකොලොත් වීම හා ගොඩ ඒම:ජාත්‍යයන්තර අත්දැකීම්” 2024 සැප්තැම්බර් මස 09 වෙනි දින පදනම් ආයතනයේ දී එළිදක්වන ලදි. මෙම ග්‍රන්ථය ජනමාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ විසින් රචනා කර ඇත.

එම පොත ද රචනා කරන ලද්දේ We Have a Dream සමූහයේ පැවති සාකච්ඡාවන්හිදී පළමු මූලික අදහස් අනුව සිදුකරන ලද පර්යේෂණයක් පදනම් කරගෙනය.

පොතේ රචනා කිරීමේ අරමුණ ගැන සඳහන් කරන පෙරවදන මෙසේය.

“අප හමුවේ මේ මොහොතේ තිබෙන අභියෝගය වන්නේ 2024 මැතිවරණ වර්ෂයේ ජනප්‍රියවාදී දේශපාලනය හේතුවෙන් දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි පීලි පනියි ද යන්නයි. එසේ වුවහොත්, යළි අසීරුවෙන් පීල්ලට දමාගත් ආර්ථික දුම්රියෙහි ගමන ලත් තැනම ලොප් වනු ඇත.
ජනප්‍රියවාදී සටන් පාඨ හා සුරංගනා කතා දැන් දැන් දේශපාලන වේදිකාවල වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවල දී සුරංගනා කතා කීම ලාංකිකයන්ට අලුත් දෙයක් නොවන අතර මහජනතාව ඒ සුරංගනා කතා එතරම් විශ්වාස කරන්නේ ද නැත. එහෙත්, සුරංගනා කතා කියන ඇතැම් නායකයින් තමන්ගේ ම බොරුවලට රුවටී කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ හානි පිළිබඳ උදාහරණ ඇත්තේ එකක් දෙකක් නොවේ.

මෙම පසුබිම තුළ, ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන සිවිල් සමාජයේ අවබෝධය වැඩිදියුණු කරගැනීම ද, ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරීම හා පාලකයන් හා නායකයන් සමඟ තිරසර ප්‍රතිපත්ති වෙනුවෙන් උද්දේශනය ද අපගේ අරමුණයි. ”

පිවිසුම, ආර්ථික අර්බුද හා බංකොලොත්වීම, අවාසනාවන්ත ලේබනනය, මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය, වාමාංශිකන් ආණ්ඩු පිහිටුවාත් විසඳුම් නොලැබුණු ග්‍රීක ආර්ථික අර්බුදය, තෙල් තිබිලත් දුප්පත් වුණ සමාජවාදී වෙනිසියුලාව, පකිස්ථානය: IMF දැඩි සත්කාර ඒකකයේ ස්ථීර ලෙඩා, ගොඩ එන මොසැම්බික්, පරිස්සම් විය යුතු මාලදිවයින, අයිස්ලන්තය ලංකොලොත් වී ගොඩ ආ හැටි, ඉතියෝපියාවත් බංකලොත්, මෑතකදී ණය පැහැර හැර ඇති/ණය ප්‍රතිව්‍යූහගත කළ වෙනත් රටවල්, මූල්‍ය අර්බුදය සහ IMF වැනි පාඨකයා තිගැස්සෙන සුළු පරිචේඡේද 13 කින් සමන්විතය.

 

Social Sharing
නවතම පුවත්