ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා

Protests again in Bangladesh against the proposal to amend the national anthem

බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පාලන සමයේදී පනවා තිබූ ජමාටි ඉස්ලාම් සංවිධානයේ තහනම අන්තර්වාර රජය විසින් පසුගියදා ඉවත් කරනු ලැබීමෙන් පසු එම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 1971 නිදහස් අරගලයෙන් පසු එම ජාතික ගීය නිර්මාණය කරනු ලැබුවේ ඉන්දීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙන රබීන්ද්‍රනාත් තාගෝර් විසිනි. ජාතික ගීය සංශෝධනය කිරීමට එරෙහිව උඩිච් ශිල්පි සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති විරෝධතා අතරතුර රටේ නොයෙකුත් ප්‍රදේශවල ජනතාව එක්‍රොක් වී ජාතික ගීය ගයමින් එම විරෝධතාවට සහාය පළ කර ඇතැයි ද වාර්තා වේ. ජාතික ගීය වෙනස් කිරීමට පියවර ගන්නේ නම් සියලු ද්වේෂ සහගත බල වේග වලට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වන බවත් එම සංවිධානය අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද ඊයේ උදෑසන නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ අන්තර්වාර රජය ප්‍රකාශ කර ඇත්තේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කිරීමට රජයේ කිසිදු අදහසක් නැති බවය.

Social Sharing
අවකාශය නවතම පුවත් විදෙස්