ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අදියර කීපයකින් සමන්විත විය. අනාගත දේශපාලන, ආර්ථික සහ සමාජ අභියෝග යන මැයෙන් මුලින්ම පවත්වන ලද සම්මන්ත්‍රණය සඳහා ආචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, නීතිඥ ශිරාල් ලක්තිලක, පිලිප් දිසානායක සහභාගි විය. එම සම්මන්ත්‍රණය නීතිඥ දුලාන් දසනායක විසින් මෙහෙයවන ලදි.
මෙහිදී පවතින ආර්ථික අර්බුදයේ අභියෝග ගැන ආචාර්ය සිරිමල් අබේරත්න විසින් අදහස් දක්වන ලදි.

“මෙතනින් එහාට කොහේටද රට යන්නේ? අපගේ පළමු පියවර විය යුත්තේ ආර්ථික ප්‍රගතියයි. එය විශාල අභියෝගයක්. එයින් සිදුවිය යුත්තේ ඩොලර් උපයන නිශ්පාදන ආර්ථිකයක් ඇති කිරීමෙන්. පසුගිය අවුරුදු 45 කට අප උපයා ඇත්තේ ඩොලර් බිලියන 12 යි. අපේ අසල්වාසී රටවල් ඔවුන්ගේ අපනයනයන් ගණන් බලන්නේ වාර්ශිකව ඩොලර් බිලියන 100 සිට….”
පසුව ආර්ථික දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් නීතිඥ ශිරාල් ලක්තිලක අදහස් දක්වන ලදි.

“එන්.එම්.පෙරේරා ඉස්සර කිව්වා මතකද මගුල් ගෙදරට සිය දෙනයි. වර්ග අඩි 1000 ට වඩා විශාල නිවාස හදන්න බෑ. සමාජවාදී අර්ථක්රමයට අනුව ධනේෂ්වර අර්බුදයක් පාලනය කරන්න හදන හැම උත්සාහයක්ම අවසන් වෙන්නේ අරපිරිමැසුම්දායකත්වයෙන්. ශ්‍රේෂඨ ආර්ථික විශේෂඥ ආචාර්ය ඇන්.ඇම් පෙරේරාටත් මේවා තේරුණේ නෑ. දැන් ඉන්න සමාජවාදීන්ටත් මේවා තේරෙන්නේ නෑ. අවසානයේ දී වෙන්නේ රට තුළ විශාල අස්ථාවරත්වයක් ගොඩනැඟීමයි. සංස්කෘතික විප්ලවයන් කියපු අයට ඒවා මතක ඇති. නැත්නං කම්බෝලියාවේ සිදුවුනු දේ මතක් කරන්න පුළුවන්. ”
සහභාගිවන්නන් කණ්ඩායම් වලට බෙදා සකස් කරන ලද දළ යෝජනාවලිය සාකච්ඡාවට භාජනය කරන ලදි. ඔවුන් යෝජනා ඒ අවස්ථාවේදීත් නොමැති නම් පසු දිනත් ඊමේල් සහ වට්ස්ඇප් මාර්ගයෙන් ලබාදීමට අවස්ථාව ලබා දෙන ලදි.
මේ අවස්ථාවේදී We Have a Dream සාමූහිකය වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් රචනා කරන ලද බංකොලොත් වීම හා ගොඩ ඒම නමින් වූ පොත එළිදැක්වීම ද සිදුවිය.