ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?

Issuance of passport in Sri Lanka

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව තිබේ.

කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල මෙන් ම දිවයින පුරා පිහිටි ශාඛා කාර්යාලවල විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ජනතාව දින ගණන් පෝලිම්වල රැඳී සිටිති.

මේ වන විට ඔන්ලයින් ඔස්සේ කලින් වෙන් කර ගත් වෙලාවකදී විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පත් භාර ගැනීම නවතා දමා ඇති අතර ආගමන විගමන කාර්යාලයට පැමිණෙන පිළිවෙළට අංක ලබා දී බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් ලබා දෙයි.

ලෝකයේ ගුවන් ගමන් බලපත්‍රවල ප්‍රබලත්වය අනුව ශ්‍රේණිගත කිරිමේදී 2024 දී ශ්‍රී ලංකාවට 91 වැනි ස්ථානය හිමිව තිබිණි.

‘එක්දින ගාස්තු ගෙව්වත් දවස් දහ තුනකින් පස්සේ තමයි අපිට පාස්පෝට් ලැබෙන්නේ’

විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ඇති අසීරු තත්ත්වය පිළිබඳව සොයා බැලීමට බීබීසි සිංහල සේවය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තුමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

දින ගණනක් තිස්සේ පෝලිම්වල රැඳී සිටිමින් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයැදුම්කරුවන්ට පොලිස් නිලධාරින් අංක ලබා දී බලපත්‍රය ලබා ගැනීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන අයුරු එහිදී අපට දැකගත හැකි විය.

ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරින් වෙනුවට අයැදුම් පත් භාර දීම සඳහා අංක ලබා දීම, බලපත්‍රය ලබා ගැනීමට දින ලබා දීම ආදී සියලු කටයුතු මෙහෙයවනු ලබන්නේ, එම දෙපාර්තුමේන්තුවේ පිටත ස්ථානයක තාවකාලික කාර්යාලයක් පවත්වාගෙන යන පොලිස් නිලධාරින් විසිනි.

ෆර්හාන්

“මම දැන් ඇවිල්ලා දවස් තුනක් වෙනවා. දවස් තුනක් පෝලිම්වල ඉඳලා, පෙරේදා ඇවිල්ලා ගියා, ඊයෙත් ටෝකන් ගන්න බැරුව ඇවිල්ලා ගියා.”

මෙහිදී දින ගණනක් තිස්සේ ගමන් බලපත් ලබා ගැනීමට බලා සිටින බොහෝ දෙනෙකු අපට හමුවූ අතර ඉන් කිහිප දෙනෙකු දින කිහිපයකට පසුව ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීමට හැකි වී තිබේ.

“මම දැන් ඇවිල්ලා දවස් තුනක් වෙනවා. දවස් තුනක් පෝලිම්වල ඉඳලා, පෙරේදා ඇවිල්ලා ගියා, ඊයෙත් ටෝකන් ගන්න බැරුව ඇවිල්ලා ගියා. අද ටෝකන් ගත්තා. දවස් දහ තුනකින් පස්සේ තමයි අපිට පාස්පෝට් නිකුත් වෙන්නේ,” යැයි බදුල්ලේ සිට පැමිණි මොහොමඩ් ෆර්හාන් බීබීසි සිංහල සේවයට පැවසීය.

ෆර්හාන් එක් දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ලිපි ලේඛන සකස් කර, එක් දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට අය කරනු ලබන ගාස්තු ගෙවා තිබුණ ද ඔහුට ගමන් බලපත්‍රය ලැබෙන්නේ දින 13කට පමණ පසුව ය.

සැප්තැම්බර් 11 වන දාට පෙර මැද පෙරදිග රටක පිහිටි තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු පුද්ගලයෙකු ද විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට පැමිණ සිටියදී අපට හමුවූ අතර, ඔහුට ද බලපත්‍රය ලබා දිය හැක්කේ සැප්තැම්බර් 18 වන දා බව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් පැවසූ බව ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

“එක පාරට මෙහෙම පාස්පෝට් පෝලිම් හැදුණේ කොහොම ද? ආණ්ඩුව කියන්නේ පෝලිම් නැති කළා කියලා නේ. මෙහෙම පෝලිම් හදලා වීසා දෙන එක පුද්ගලික කොම්පැනියකට දුන්නා වගේ පාස්පෝට් එකත් පිටරටක කොම්පැනියකට දෙන්න හදනවා ද දන්නේ නෑ,” යැයි දින කිහිපයකට පසුව ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අභියෝගයේ එක් කඩඉමක් ජයගත් ඔහු පැවසීය.

සිය අනන්‍යතාව හෙළි කිරිමට අකමැති ඔහු අනුමාන කළේ, සැප්තැම්බර් 11 වන දාට පෙර තම සේවා ස්ථානයට වාර්තා කිරිමට නොහැකි වුවහොත් තම විදෙස් රැකියා සිහිනය බොඳ වී යනු ඇති බව ය.

‘මෙතන පෝලිම් තියෙන්නෙ පාස්පෝට් ගන්න විතරක් නෙවෙයි’

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සැප්තැම්බර් 06 වන දා ආගමන හා විගමන දෙපර්තුමේන්තු නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී එම දෙපාර්තුමේන්තුව ඉදිරිපිට ඇති පෝලිම් මොනවා දැයි මාධ්‍ය වෙත කියා සිටියේ ය.

“උදේ ඉන්නවා පාස්පෝට් ගන්න අය, අයිඩී කාඩ් ගන්න අය, පොලිස් රිපෝට් ගන්න අය, එතකොට රෙජිස්ටර් ජෙනරල් එකට එන අය, ෆොරීන් මිනිස්ට්‍රි එකේ කොන්සියුලර් සෙක්ෂන් එකට එන අය, ඉතිං දැන් අපි කෙරුවේ මේ ගොඩනැගිල්ල වන්ස්ටොප් ෂොප් එකක් කෙරුවා…ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. මෙතනට ගේන්න හේතුව තමයි ඕනම පුද්ගලයෙකුට මෙච්චර කල් එහෙමෙහෙ ඇවිදින්න තිබුණ. පාස්පෝට් එකට මෙතන්ට එනව. බර්ත් සර්ටිෆිකට් එකට තව ඔෆීස් එකකට යනව. ඒ ඔක්කොම නැති කරලා එක තැනකට ගෙනාවට පස්සේ ඕන ම පුද්ගලයෙකුට උප්පැන්න සහතිකයේ ඉඳන් මරණ සහතිකය වෙනකන් අවශ්‍ය සියලු ම ඩොකියුමන්ට් ලබාගන්න පුළුවන් එක තැනින්. ඉතින් එතකොට මෙතන සෙනඟ වැඩි වෙනවා. පාස්පෝට් ප්‍රශ්නෙ ආවා ම අර සෙනඟ ඔක්කොම පෙන්නලා කියන්නේ මේ පෝලිමේ ඉන්නවා පාස්පෝට් ගන්න කියලා.”

‘සුමාන අටේ පරක්කුව තමයි අපට මෙතන පියවගන්න වුණේ’

නව ඊ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරිම ආරම්භ කිරීමෙන් පසුව විදෙස් ගමන් බලපත් නිකුත් කිරිමේ ප්‍රමාදය පහව යනු ඇති බවට ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.

“අපි පාස්පෝට් කිසි ම ටෙන්ඩර් එකක් කතා කරන්නේ නැතුව අවුරුදු විසි තුනක් එක ම එක්කෙනාගෙන් අරන් තියෙනවා. එක පාස්පෝට් එකක් ඩොලර් පහයි ශත අසූ නවය ගානේ අරන් තිබ්බා. මේ නෝමල් පාස්පෝට් එක. මේ පාරත් රී ඕඩර් එකක් කරන්න හැදුව ම මම කීවා ඒක කරන්න බෑ වර්ල්ඩ් වයිඩ් ටෙන්ඩර් එකක් කෝල් කරන්න ඕන කියලා. එතකොට කෝල් කරනකොට දැන් ලෝකයේ හොඳ ම එක තමයි ඊ පාස්පෝට් එක. අපි ඊ පාස්පෝට් එකට ම ටෙන්ඩර් එක කෝල් කෙරුවා. කෝල් කරලා ටෙන්ඩර් එක එවැලුවේට් කරලා ඕඩර් එක දීලා අලුත් පාස්පෝට් එක එන වෙලාවට පරණ පාස්පෝට් එක ඉවර වෙන විදිහට තමයි හදලා තිබුණේ. නමුත් අවාසනාවකට වගේ ඒක ඇපිල්බෝඩ් එකට ගිහින් ඒකෙන් සුමාන අටක් පරක්කු වුණා. ඒ සුමාන අටේ පරක්කුව තමයි අපිට මෙතන පියවගන්න වුණේ.”

ඊ ගුවන් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී සඳහන් කළේය.

වීසා ගන්නත් දිග පෝලිම්

මේ අතර, ඉන්ටර්නෙට් හරහා මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු විදේශිකයන්ට පැමිණීමේ වීසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පමණක් ලබා ගැනීමට සිදුවීම නිසා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ද දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.

ගුවන් තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, එම්.ඒ සුමන්තිරන් ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර පෙත්සම් සලකා බැලීමෙන් අනතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අතුරු තහනම පනවනු ලැබීය.‍

නව ක්‍රමවේදය වෙනුවට පෙර පැවැති ක්‍රමය අනුගමනය කරන ලෙසට එහිදී නියෝග කෙරුණ ද එම ක්‍රියාවලියේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට පවතින දැඩි දුෂ්කරතාව සම්බන්ධව හා මේ වන විට විදෙස් ගමන් බලපත් නිකුත් කරන ක්‍රමවේදය මෙන්ම නව ඊ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ කරුණු විමසීමට දුරකතනය ඔස්සේ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල සේවය දැරූ උත්සහය අසාර්ථක විය.

බීබීසි සිංහල සේවය

Social Sharing
අවකාශය නවතම විශේෂාංග