-BBC-
බංගලාදේශය යනු ගෝලීය අධිවේගී විලාසිතා ව්‍යාපාරයේ (fast fashion business – අධිවේගී විලාසිතා ව්‍යාපාරය යනු මිල අඩු එහෙත්, නවීන විලාසිතාවලින් සමන්විත ඉක්මනින් වෙළෙඳපොළ තුළ සංසරණය වන ඇඟලුම් ව්‍යාපාරය යි) ගැහෙන හදවත යි.
බංගලාදේශයේ කර්මාන්ත ශාලා අපනයනය කරන ඇඳුම්, H&M, Gap සහ Zara යන ප්‍රකට සන්නාම යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරේ. දශක තුනක් පුරා, මෙම ව්‍යාපාරය නිසා ලෝකයේ අතිශය දිළිඳු රටක්ව පැවති බංගලාදේශය පහළ-මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය විය.
එහෙත්, වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක (පවුම් බිලියන 42) ආදායමක් සහිත එරට ඇඟලුම් කර්මාන්තය, අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනාගේ ආණ්ඩුව සති ගණනක් පුරා පැවති විරෝධතා හරහා පෙරළා දැමීමෙන් පසු දැන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටී. රට තුළ පැවති නොසන්සුන් තත්ත්වය අතරතුර මිනිසුන් සිය ගණනක් මිය ගියහ.
එහිදී, අවම වශයෙන් කර්මාන්ත ශාලා හතරක් ගිනිබත් කරන ලද අතර නිෂ්පාදකයින් රට පුරා පැවති ඉන්ටර්නෙට් අවහිරය යටතේ ක්‍රියාත්මක වීමට අරගල කළහ. දැනටමත්, ඩිස්නි සහ ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන වෝල්මාර්ට් ඇතුළු දැවැන්ත වෙළෙඳ සන්නාම තුනක්, මීළඟ උත්සව සමයේ ඇඳුම් සැපයිය හැකි වෙනත් නිෂ්පාදකයින් කෙරෙහි අවධානය යොමු කර තිබේ.
බාධා කිරීම් අඛණ්ඩව පවතී. කම්කරුවන්ගේ නොසන්සුන්තාව හේතුවෙන් බ්‍රහස්පතින්දා සිට ඩකා නගරයෙන් පිටත කර්මාන්ත ශාලා 60ක් පමණ වසා දමනු ඇතැයි අපේක්ෂා කෙරේ. වඩා හොඳ වැටුප් ඇතුළු විවිධ ඉල්ලීම් මුල් කර ගනිමින් සේවකයෝ විරෝධතාවල නිරතව සිටිති.
මෑත කාලීන සිදුවීම් “සන්නාමවල විශ්වසනීය මට්ටමට බලපාන්න පුළුවන්,” බංගලාදේශයේ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙකු වන මොහියුදීන් රුබෙල් පවසයි.
“ඒ වගේ ම ඔවුන් බොහෝවිට හිතන්න පුළුවන්, ඔවුන් එක රටක් දිහා බලාගෙන ඉන්නෙ ඇයි කියලා?” වියට්නාමය වැනි ප්‍රතිවාදී ඇඟලුම් නිෂ්පාදනය කරන රටවල් සැලකිල්ලට ගනිමින් ඔහු පවසයි.
ඇත්ත වශයෙන් ම, බංග්ලාදේශයේ සහ ඇමෙරිකාවේ සම්බන්ධීකරණ කාර්යාල ඇති පවත්වාගෙන යන ක්‍යාව් සෙයින් තායි පවසන්නේ, මෑත කාලීනව සිදුවූ දේශපාලන නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස “මේ වසරේ අපනයනවල 10-20% පහත වැටීමක්” ඇති විය හැකි බව ය. අධිවේගී විලාසිතා බංගලාදේශයේ අපනයන ආදායම්වලින් 80%කට දායක වන හෙයින් එය සුළු මුදලක් නොවේ.
පසුගිය මාස කිහිපයේ සිදුවීම්වලට පෙර පවා, බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය – සහ එහි ආර්ථිකය – යහපත් තත්ත්වයක නොපැවතිණි. ළමා ශ්‍රමිකයින් පිළිබඳ ගැටලු, මාරාන්තික අනතුරු සහ කොවිඩ්-19 නිසා රට වසා දැමීම යන සියලු කරුණු ඊට බලපෑවේ ය.
භාණ්ඩ මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය ද අධික ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත්, ඉල්ලුම අඩු වීම නිසා අධික මිල ගණන්වලට එම නිෂ්පාදන අලෙවි කළ නොහැකි විය. අපනයනය මත දැඩි ලෙස රඳා පවතින බංගලාදේශයට මෙය විශේෂයෙන් අයහපත් විය. අපනයන ලාභය හැකිළෙන විට විදේශ මුදල් සංචිත ද අඩු විය.
තවත් ගැටලු කිහිපයක් විය: ප්‍රදර්ශනය මූලික කර ගත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අධික ලෙස වියදම් කිරීම නිසා රජයේ මුදල් සිඳී ගියේ ය. හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ බලවත් ව්‍යාපාරිකයන් ණය ගෙවීමට අපොහොසත් වීමත් සමග එහි බැංකු දුර්වල විය.
“එය කාරුණික නොසලකා හැරීමක් නොව මූල්‍ය පද්ධතියේ සැලසුම්ගත කොල්ලයක්” යැයි රටේ නව මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් මන්සූර් මෑතකදී බීබීසී සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
මෙය නිවැරදි කිරීම සිය ප්‍රමුඛතා අතර ඉහළින් ඇති කාර්යය බව ආචාර්ය මන්සූර් පැවසීය. කෙසේ වෙතත්, ඒ සඳහා වසර ගණනක් ගත විය හැකි බවට අනතුරු ඇඟවූ ඔහු පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම ඇතුළු මූල්‍ය සහයන් වැඩි වශයෙන් ලබා ගැනීම අවශ්‍ය බව ය.
“අපි සිටින්නේ අසීරු තැනක. අපගේ විදේශ වගකීම් ඉටුකිරීම සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ම අනුකූලව සිටිය යුතුයි,” වෛද්‍ය මන්සූර් පැවසීය. “ඒත් අපට දැන් අපට යම් සහනයක් අවශ්‍ය යි.
දශක දෙකකට පෙර ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන සෝනියා ගෲප් ආරම්භ කළ මහබුර්බුර් රහ්මාන් පෙන්වා දෙන්නේ, රටේ විදේශ මුදල් සංචිත පහත වැටීම පමණක් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය බිඳ දැමීමට ප්‍රමාණවත් බව ය.
“අපට ප්‍රමාණවත් ඩොලර් නොමැති නම් ඉන්දියාවෙන් සහ චීනයෙන් නූල් ආනයනය කිරීම සඳහා අප ගෙවන්නේ කොහොම ද කියලා ඔවුන් සැලකිලිමත් වෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සංචාරක රක්ෂණයක් නොලැබෙන නිසා නව ඇණවුම් කිරීමට බංග්ලාදේශයට පැමිණීමට පවා නොහැකි වී තිබෙනවා, ”රහ්මාන් පවසයි.
එහෙත්, බංගලාදේශය දැවැන්ත ගැටලුවකට මුහුණ පා තිබේ. ෂෙයික් හසීනා නෙරපා හරින ලද විරෝධතා මෙහෙයවනු ලැබුවේ, හොඳ වැටුප් සහිත රැකියා සහ අවස්ථා නොමැතිකම නිසා කලකිරීමට පත් වූ සිසුන් විසිනි.
ඇඟලුම් කම්හල් මිලියන ගණනක් රැකියා උත්පාදනය කර ඇතත්, ඔවුන් හොඳ වැටුප් ගෙවන්නේ නැත. බීබීසී පුවත් සේවයට අදහස් දැක්වූ ඇඟලුම් කර්මාන්ත ශාලා කම්කරුවන් පැවසුවේ, ජාතික අවම වැටුපෙන් අඩක් වන සිය වැටුපෙන් ජීවත් වීම දුෂ්කර බව ය. එයින් අදහස් කරන්නේ, තම දරුවන් පෝෂණය කිරීම සඳහා ණය ගැනීමට ඔවුන්ට බල කෙරුණු බව ය.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි ඉල්ලා පසුගිය මාස කිහිපයේ පැවති සිසු විරෝධතාවලට එක් වූහ.
“වැටුප දෙගුණ කිරීමකට වඩා අඩුවෙන් අපි එකඟ වෙන්නෙ නෑ,” වෘත්තීය සමිති නායක මාරියා පැවසීය. “ජීවන වියදම වැඩිවීමට සාපේක්ෂව වැටුප් වැඩි විය යුතු යි.”
කෙසේ වෙතත්, ශිෂ්‍ය විරෝධතාකරුවෝ රැකියා වෙළෙඳපොළ තුළ පෙරළිකාර වෙනසක් අපේක්ෂා කරති.
අබු තහීර්, මොහොමඩ් සමාන්, මොහොමඩ් සයිදුල් සහ සර්දාර් අර්මාන් යන සියලු දෙනා විරෝධතාවල නිරත වූහ.
වසර දෙකේ සිට පහ දක්වා විරැකියාවෙන් පෙළෙන ඔවුන් බීබීසීයට පවසන්නේ, ඔවුන් පෞද්ගලික අංශයේ වැඩ කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් පවතින රැකියා සඳහා තමන් සුදුසු යැයි නොහැඟෙන බව ය.
“රැකියා වෙළෙඳපොළ කොයිතරම් තරගකාරී ද කියලා මගේ දෙමාපියන්ට වැටහීමක් නෑ. මගේ පවුල ඇතුළේ රැකියාවක් නැති වීම ලොකු පීඩනයක්. මට දැනෙන්නෙ මාව කොන් කරල වගේ හැඟීමක්,” සමාන් පවසයි.
“අපි නිකම් උපාධියක් ගන්නවා විතර යි. අපට සුදුසු කුසලතා ලබා ගන්න බැහැ,” සයිදුල් පවසයි.
“නව උපදේශකවරයා ව්‍යවසායකයෙක් නිසා ඔහු මේ ගැන යමක් කරනු ඇතැයි අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා,” යනුවෙන් ඔහු බංගලාදේශයේ අන්තර්වාර නායකයා වන මුහම්මද් යූනුස් ගැන සඳහන් කරයි. ක්ෂුද්‍ර ණය පිළිබඳ ඔහුගේ පුරෝගාමී සේවය වෙනුවෙන් යූනුස් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබී ය.
ප්‍රතිපත්ති සංවාද මධ්‍යස්ථානයේ (Centre for Policy Dialogue) ආචාර්ය ෆහ්මිඩා ඛාටූන් පෙන්වා දෙන්නේ, උගත් තරුණයන්ගේ අභිලාෂයන් සපුරාලීම සඳහා ආර්ථිකය විවිධාංගීකරණය කිරීම ඉතා වැදගත් වනු ඇති අතර, එය ආර්ථිකයට නරක දෙයක් නොවන බව ය.
“කිසි ම රටකට එක් අංශයක් මත පමණක් දිගු කලක් යැපෙන්න බැහැ,” ඇය පවසන්නී ය. “එය ඔබව යම් දුරකට ගෙන යාවි. ඒත්, ඊට එහා යන්න බෑ. විවිධකරණයට උත්සහයන් තියෙනවා, නමුත් මෙතෙක් ඒක පොත්වලට පමණ යි සීමා වෙලා තියෙන්නේ.”
ඩකා අගනුවරෙන් පිටත භාවිතයට නොගත් තාක්ෂණික උද්‍යානයක් මේ සඳහා සාක්ෂි සපයයි. 2015 දී ආරම්භ කරන ලද, එය ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය කිරීම සහ බංග්ලාදේශයේ ඇඟලුම් නිෂ්පාදනය මත යැපීම වෙනස් කිරීම සඳහා මුලපිරීමක් ලෙස අදහස් කරන ලදී.
එය දැන් අතහැර දමා තිබේ. එය, පෙර පරිපාලනයේ ආර්ථික අසාර්ථකත්වය සිහිපත් කිරීමකි.
“කර්මාන්තයට අවශ්‍ය දේ සහ රජය ලබා දී ඇති දේ අතර පරතරය පිළිබඳ හොඳ ම උදාහරණය මේක යි,” යනුවෙන් මෘදුකාංග ව්‍යවසායකයෙකු වන රසල් ටී. අහමඩ් පවසයි.
“මේ උද්‍යාන ඕන ද කියලා කිසි ම කෙනෙක් ඇහුවේ නැහැ. බංගලාදේශය භෞතික යටිතල පහසුකම්වලට ආයෝජනය කරනවා. ඒත්, මානව යටිතල පහසුකම් වෙනුවෙන් අපි කොච්චරක් අයෝජනය කරල තියෙනවා ද? මේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි ඒ.”
නව රජය කළ යුත්තේ, විදේශ හා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා දූෂණය සහ අනවශ්‍ය සීමා වැනි බාධක ඉවත් කිරීම බව ආචාර්ය ඛාටුන් පවසයි.
යූනුස් රටේ ආර්ථිකයට පුළුල් ප්‍රතිසංස්කරණ ගෙන එන බවට ප්‍රතිඥා දී ඇති අතර, ආචාර්ය ඛාටුන් පවසන පරිදි පසුගිය වසර කිහිපය තුළ “ක්‍රමානුකූලව විනාශ වූ” ආයතන යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත.
ආර්ථිකය ස්ථාවර කිරීම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය ළැදියාවන් අතර ගැටුමකින් තොරව සිදුකිරීම ආදී ප්‍රබල කර්තව්‍යයක් ඔහුට ඉදිරියේ තිබේ.
මේ සියල්ල කළ යුත්තේ, රට වෙනත් ගැටලු රාශියකට මුහුණ දී සිටින අවස්ථාවක ය: රට තුළ නිපදවන භාණ්ඩ සඳහා ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම, ෂෙයික් හසීනාට රැකවරණය සපයන දැවැන්ත අසල්වැසියා සහ වෙළෙඳ හවුල්කරු ඉන්දියාව සමග සබඳතා පිරිහීම සහ ජලගැලීම්වලින් පීඩා විඳින රටක දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති විය හැකි දරුණු සුළි කුණාටු ආදිය එම ගැටලු අතර වේ.
මෙම අභියෝග බොහෝ පිරිස් යූනුස්ගේ උර මත තබා ඇති බලාපොරොත්තු තරම් විශාල ය.