IMF වැඩසටහනෙන් ඉවත් වෙන්නේ නෑ – අනුර කුමාර දිසානායක

තම පාලනයක් යටතේ කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉවත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

කෝට්ටේ පැවැති ජාතික ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය. පෙරේදා (03දා) රාත්‍රී පැවැති මෙම හමුවේදී තවදුරටත් කතා කළ හෙතම මෙසේද කීය.

“අපි තේරුම් අරන් තිබෙනවා අපිට ලැබෙන්නේ මොනවගේ ආර්ථිකයක් ද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන සාකච්ඡා ගැන ප්‍රශ්න කීපයක් පැන නගිනවා. අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැටගහලා තියෙන්නේ. මේ වෙලාවේ කව්රුහරි ඒකපාර්ශ්වීයව එම වැඩසටහනින් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්.

ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශ්වීයව කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉවත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අප විසින් සම්පූර්ණ කළ යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ පරාමිතීන් රටට අහිතකර නැහැ. හැබැයි ප්‍රශ්නය පැන නගින්නේ පරාමිතීන් ඉටු කර ගැනීම සඳහා යන මාවත. ඒකට එක් එක් යෝජනා තිබිය හැකියි. ඒ නිසා අපි ඒ ඉදිරිපත් කර ඇති පරාමිතීන් ඔවුන්ගේ ඉලක්කයන් සහ අපේ ඉලක්කයන් ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා තිබෙන රාමුව ඇතුළේ ඉඳගෙන තමයි අපි සියලු සාකච්ඡා සහ වෙනස් කිරීම් සිදු කරන්නේ. ඒක බිඳවැට්ටෙන රාමු ඇතුළේ නෙමෙයි ඒ රාමුවෙන් එළියෙ නෙවෙයි ඒ රාමුව ඇතුළෙයි.

උපුටා ගැනීම – දිවයින

අනුර කුමාර දිසානායක මහතා ගේ මෙම ප්‍රකාශය සම්බන්ධව මහාචාර්ය රොහාන් සමරජීව තම මුහුණු පොතේ පහත සටහන තබා තිබුනි.

“IMF අත්හරින්නෙ නෑ කියන්න පුළුවන් ව්‍යාපාරිකයන් ඉදිරියේ. අත්හැරීමට කටයුතු සලසා ගන්න එක තමයි AKD යටතේ සිද්ධ වෙන්නෙ. බදු අඩු කරලා, වියදම් වැඩි කරලා, ප්‍රාථමික ශේෂ ඉලක්ක සපුරාලන්න බැරි වුනාම වැඩ සටහන ඉවරයි. ණය ගෙවන්න බැහැ. ආයෙම පෝලිම් යුගය. අතාත්වික DSA එකක් ඉදිරිපත් කරලා IMF ආකෘතිය ප්‍රතික්‍ෂේප කල විටත් ප්‍රතිපලය එයමයි.”

දික්කසාද වෙන ක්‍රම ගැන දන්න කෙනෙක්ට මෙය හොඳට තේරෙයි. Malicious desertion වලට අමතරව constructive malicious desertionත් පිලිගන්නවා දික්කසාදයට හේතුවක් ලෙස (ද්වේශ සහගත අතහැරයාම සහ අනුමිත දේවේශ සහගත අතහැරයාම)

 

Social Sharing
අවකාශය නවතම