පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සේවය කළ පොලිස් ස්ථානයට සිය මව සමඟ පැමිණි වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන අවස්ථා ගණනාවකදීම ඇය දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 27 හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයකුට එකී චෝදනා තුනට වෙන් වෙන්ව වසර 45ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම එකවර එනම් වසර 15කින් ගෙවීයන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (03දා) නියෝග කළේය.
එයට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙසට ද අබේවර්ධන ලියනාආරච්චිගේ ප්‍රභාත් උදයංග නමැති එම විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් පෙර කී සිරදඬුවමට අමතරව වසර එකහමාරක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.
රුපියල් තිස්දහසක දඩයක් ද විත්තිකරුට නියම කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එකී දඩය නොගෙවන්නේ නම් පෙරකී සිරදඬුවම්වලට අමතරව තවත් වසර එකහමාරක බරපතළ සිරදඬුවම් ලබාදීමට ද නියම කළේය.
තමන්ට අත්හිටුවූ සිරදඬුවම් නියම කරන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට හඬාවැටෙමින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් තමාගේ සේවය ලබාගැනීමට පැමිණි අසරණ අයකුට රැකවරණය දීමේ වගකීම පැවරී ඇති නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු පොලිස් නිලධාරියකු ලෙස රාජකාරි කළ විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් වන බැවින් ලිහිල් දඬුවම් ලබාදීම තම අධිකරණයට සිදුකළ නොහැකි බව පෙන්වා දෙමින් විනිසුරුවරයා පෙර කී දඬුවම් නියම කළේය.
විත්තිකරුගේ එකී ක්‍රියාදාමය නිසා එම තරුණියට ශාරීරික වශයෙන් පමණක් නොව මානසිකව ද දැඩි ලෙස පීඩා විඳීමට සිදුවී ඇති බවත් අවස්ථා ගණනාවකදීම ඇගේ මව හා සොහොයුරිය නොමැති අවස්ථාවලදී ඇගේ නිවසට ගොස් ඇය සමඟ ලිංගිකව හැසිරී ඇති විත්තිකරු පසුව ඇයව මගහැර යෑම නිසා ඇය අධික ලෙස පැරසිටමෝල් පෙති භාවිත කර දිවි හානි කර ගැනීමට පවා උත්සාහ කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පැවසීය.
කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඇයගේ ජීවිතය ගලවා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී ඇතත් ඇය විඳින මානසික පීඩනය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බැවින්, එවැනි වැරදි නොකළ යුතු බවට සමාජයට ආදර්ශයක් ගත හැකි අයුරින් දඬුවම් නියම කරන ලෙසට ද රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක – දිවයින