1980 සිට පුද්ගලයින් 14,500ක් අතුරුදන්

missing person in sri lanka ali sabry minister

1980 සිට මේ දක්වා පුද්ගලයින් 14,500ක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින් ම පිළිතුරු ලබා දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි පවසයි. ඒ පැවසුවේ අගෝස්තු මස 30 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදන් වූ තැනැත්තන්ගේ දිනය සැමරීම සඳහා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ  දී 27 දා පස්වරුවේ පැවති සමරු වැඩසටහනේ දී ය.

අතුරුදන් වු තැනැත්තන් සඳහා වන කාර්යාලය විසින් මෙම සමරු වැඩසටහන සංවිධානය කර තිබු අතර, මතු දැක්වෙන්නේ අධිකරණ අමාත්‍යවරයා කළ දේශනය යි.

missing person in sri lanka ali sabry minister ‘‘එක් දහස් නවසිය අසුවේ  සිට මේ දක්වා පුද්ගලයින්  දා හතර දහස් පන්සීයයක් අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදන් වූ ජනතාවට පවතින ගැටලු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින්  බව අපි වටහා ගත යුතුයි; ඔවුන්ට පවතින ගැටලු විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට  භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. 

යුද්ධයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දොළොස් දහස් නවසීයක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබුවා. ඒ අය නැවතත් ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ වුණේ නැහැ. තම ඥාතීන් අතුරුදන් වීම හේතුවෙන් අසහනකාරී තත්වයට පත්ව සිටින අයගේ හඬට කන් නොදී ඉදිරියට යා නොහැකි බව අපි වටහා ගත යුතුයි. මේ සඳහා අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල හා ඔවුන්ගේ ආදරණීයන්ට ගෞරවනීය අවසානයක් මෙන්ම යුක්තිය සහතික කිරීමට අප කැපවීමෙන් කටයුතු කරනවා.  මෙරට පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම මුලික කර ගනිමින් ආරම්භ කළ අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේ වන විට අතුරුදන් වූවන්ගේ තත්ත්වය තීරණය කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් සිදු කරන ලද කාර්ය භාරය හරහා ජනතාව අතර, විශ්වාසය තහවුරු කර ගෙන සිටිනවා.

සත්‍ය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය පිහිටුවීම මගින් අතුරුදන් ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සඳහා තවදුරටත් අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා අන්තර්ජාතික ප්‍රජාව ලබා දෙන තාක්ෂණික සහයෝගය අගය කරනවා. ඒ වෙනුවෙන් ගෞරවය පුද කරනවා. නමුත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. අපගේ අරමුණ වන්නේ මිලියන විසි දෙකක් වූ ශ්‍රී ලාංකීය ජනතාවට සාධාරණය, යුක්තිය ඉටු කිරීම යි.’’ 

මෙම අවස්ථාවට: අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්  නිහාල් රණසිංහ,  නීතිපති, ජනාධිපති නිතීඥ පාරින්ද රණසිංහ,  ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය, Siri Walt, අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, ජේ. තත්පරන් මහත්මා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන් ම අතුරුදන් වූ තැනැත්න්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.

theleader.lk

Social Sharing
අවකාශය නවතම