බොහෝ ආයතනවල සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලය අවසන් වූ පසුවත් ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන රාජකාරී ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබීම ලෝකයේ ඉතා සුලබ කරුණක්. ඒ හරහා ආයතනික ප්‍රධානීන් විසින් තම සේවකයන්ගේ ජිවිතයට කරනුයේ සෘණාත්මක බලපෑමක්. ඒ වගේම එය සේවකයන්ට කෙරෙන විශාල පීඩනයක්ද වෙනවා. නමුත් මින් ඉදිරියට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සේවකයන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ රාජකාරී කාලයෙන් පසුව එන ආයතනික ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමට අවසර තිබෙනවා. ඒ පසුගියදා ඕස්ට්‍රේලියානු රජය මගින් සමමත කරන ලද “රයිට් ටු ඩිස්කනෙක්ට්” නමින් හැඳින්වෙන නව කම්කරු නීතියත් සමගයි.
රයිට් ටු ඩිස්කනෙක්ට් නීතියෙන් බලපෑමට ලක්ව ඇත්තේ කවුද?
ඕස්ට්‍රේලියාවේ බොහෝ සේවකයන් මෙම නීතිය අනුගමනය කරමින් එහි ප්රතිලාභ අත්විඳිනු ඇත. එහෙත් යම් ආයතනයක් සමගින් කිසියම් සේවකයෙකු අත්සන් කර තිබෙන රැකියා ගිවිසුමක එම රැකියාවට අනුමත දෛනික පැය ගණනකට පසු වැඩ නොකිරීම පිළිබඳව රයිට් ටු ඩිස්කනෙක්ට් නීතියේ තිබෙන නීතිවලට වඩා හොඳ නීති තිබේ නම්, එම නීති අනුගමනය කිරීමට සේවකයන්ට තවමත් හැකියාව තිබේ.
ප්‍රධානියාට සේවකයෙකුගේ සේවා කාලයෙන් පසුව අදාළ සේවකයාව සම්බන්ධ කර ගත හැක්කේ හැක්කේ රැකියාවට අවශ්‍ය හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණි. එහෙත් ඊට පෙර ප්‍රධානියා පහත කරුණු කෙරේ අවධානය යොමු කළ යුතුය.
– ප්‍රධානියා විසින් සේවකයාව සම්බන්ධ කර ගන්නේ ඇයි?
– ප්‍රධානියා විසින් සේවකයාව සම්බන්ධ කරගන්නේ කෙසේද? (ඇමතුම් ගැනීම ඊමේල් වලට වඩා කරදරකාරී විය හැකිය)
– ප්‍රධානියා විසින් ලබාගන්නා සේවකයාගේ අතිරේක කාලය සඳහා සේවකයාට ගෙවීමක් කරන්නේද?
– සේවකයාගේ රැකියාව සහ රැකියාවේ කාර්යභාරය
– සේවකයාගේ පවුල හෝ සේවකයා විසින් රැකවරණය සැලසිය යුතු පාර්ශවයන්ට සේවකයා විසින්කළ යුතු රාජකාරින් වැනි සේවකයාගේ පෞද්ගලික ජීවිතය
මෙම අයිතිය භාවිතා කරන්නේ කෙසේද?
නියමිත දෛනික පැය ගණනට පසුව වැඩ කිරීමට සේවකයෙකුට අවශ්‍ය නැතිනම්, පළමුව එය අදාළ සේවායෝජකයා සමඟ කතා කළ යුතුය. ඉන්පසු අදාළ රාජකාරී පැය ගණනින් පසුව තමන්ට අමතර කාර්යයන් හෝ පණිවිඩ ලබා නොදෙන ලෙස සේවායෝජකයාට පැවසිය හැකිය. එය පැවසූ පසුවත් සේවා යෝජකයා විසින් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර දැක්වීමක් නොකළහොත්, සේවකයාට තම අයිතීන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ තිබෙන සාධාරණ වැඩ කොමිසමෙන් (Fair Work Commission) උපකාර ඉල්ලා සිටිය හැක.
යම් සේවකයෙකු තම දෛනික සේවා පැය ගණනට පසුව එන රාජකාරී ඇමතුම් නොසලකා හැරීම නිසා සේවයෙන් පහකළ හැකිද?
සේවකයාට සාධාරණ හේතුවක් තිබේ නම් දෛනික පැය ගණනට පසුව එන රාජකාරී ඇමතුම්වලට පිළිතුරු නොදීම නිසා සේවකයාව සේවයෙන් පහකළ නොහැක. නමුත් සේවායෝජකයාගෙන් සාධාරණ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත්, අදාළ සේවකයාට යම් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකිය. සේවකයා යම් වෘත්තීය සමිතියක සිටී නම්, ඔවුන්ගේ උපදෙස් සේවකයාට ලබා ගත හැකිය.
මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
රයිට් ටු ඩිස්කනෙක්ට් නීතිය 2024 අගෝස්තු 26 වෙනිදා සිට ඕස්ට්‍රේලියාව තුළ බල පැවැත්වෙන අතර, එම නිතිය 2025 අගෝස්තු මාසයේ සිට සේවකයන් 15 ට අඩු කුඩා ව්‍යාපාර සඳහා ද අදාළවනු ඇත.
රයිට් ටු ඩිස්කනෙක්ට් නීතිය පැනවීම සඳහා හේතුව කුමක්ද?
සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලසීමාවෙන් පසුව වැඩ කිරීමට සිදු නොවන බවට වග බලා ගැනීමෙන් සේවකයන්ගේ රැකියාව සහ ගෘහ ජීවිතය අතර වඩා හොඳ සමතුලිතතාවයක් ඇති කර ගැනීමට රයිට් ටු ඩිස්කනෙක්ට් නීතිය උපකාරී වේ. එය සේවකයන්ගේ ආතතිය අඩු කිරීමට සහ පසුතැවීම නැවැත්වීමට උපකාරී වේ.
රයිට් ටු ඩිස්කනෙක්ට් නීතියට අදාළව ඕස්ට්‍රේලියානු සමාජය තුල තිබෙන තර්ක
පක්ෂව: බොහෝ අය මෙම නව නීතියට කැමති වන්නේ එය වැටුප් නොලබා කළ යුතු වැඩ සහ සේවකයන්ගේ ආතතිය අඩු කිරීමට උපකාරී වන බැවිනි. ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සිතනුයේ මෙම අලුත් නිතිය නිසා කම්කරුවන් සතුටින් හා සෞඛ්‍ය සම්පන්න වනු ඇති බවයි.
විපක්ෂව: සමහර පාර්ශවයන් කනස්සල්ලට පත්ව සිටින්නේ රයිට් ටු ඩිස්කනෙක්ට් නිතිය ව්‍යාපාරික සබඳතාවලට හානියක් විය හැකි අතර ඒ හරහා ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අපහසු වනු ඇති බවයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික කවුන්සිලයේ අදහස වනුයේ එමඟින් ව්‍යාපාර පවත්වාගෙන යාම වඩාත් අපහසු කරන අතර ඉන් රැකියා අවස්ථා ද කපා හැරිය හැකි බවයි.
ලෝකයේ අනෙකුත් රටවල් තුළත් මෙවැනි නීති රීති තිබෙනවාද?
ඕස්ට්‍රේලියාවේ තිබෙන ඉහත නීතියට සමාන නීතිරීති වෙනත් රටවල්වලද තිබුණි. උදාහරණයක් ලෙස, 2017 සිට ප්‍රංශයේ ඒ හා සමාන නීතියක් තිබුණි.
එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ කම්කරුවන්ට විසන්ධි කිරීමට සමාන අයිතියක් ලබා දෙන නව නීතියක් කෙටුම්පත්කර තිබුණද එය සම්මත වීම තවමත් නිශ්චිත නැත.
සමස්තයක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ නව නීතිය සේවකයන්ට ඔවුන්ගේ රාජකාරී ජීවිතය සහ පෞද්ගලික ජීවිතය වඩා හොඳින් සමතුලිත කිරීමට උපකාර කිරීමේ ගෝලීය ප්රයත්නයක කොටසකි.
සටහන – Srimal DC