මංගල සමරවීර යනු අභියෝග හමුවේ තමන් නිවැරදි බව තහවුරු කරගත් මතවාදවලින් බැහැරව නොයමින්, එය යථාර්ථයක් කරගැනීම උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක් බව කේෂාල් ජයසිංහ පැවසී ය.
‘Mangilogy’ (මැන්ගිලොජි) සංවිධානයේ අධ්යක්ෂ කේශාල් ජයසිංහ මෙලෙස පැවසුවේ පසුගිය 23වන දා කොළඹ 07 කදිරගාමර් ශ්‍රවණාගාරයේ දී, මංගල සමරවීර අප අතරින් නික්ම ගොස් තෙවසරක් සැපිරීම නිමිත්තෙන් පැවති ‘මංගල මොහොතක්’ යන මැයෙන් වූ මංගල අනුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහි දී කේෂාල් ජයසිංහ කළ සම්පූර්ණ කතාව මතු දැක්වේ.
ලිබරල් මතවාදියා
”මංගල අපේ ආදරණීය මිතුරා, අපේ සටන් සගයා, අපේ නායකයා.. අපිට අහිමි වෙලා දැන් අවුරුදු තුනක්… මේ ගෙවුණු කාලය කියන්නේ ‘මංගල හිටියා නම්’ කියලා නිරන්තරයෙන් අපි කාගෙත් මතකයට නැගුණු කාලයක්. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබුණු අභියෝග සහ ඊට විසදුම් සොයා යන ගමනේදී මංගල නැති අඩුව අපිටත් රටටත් දැනුනා. මංගල සමරවීර කියන්නේ අභියෝග හමුවේ තමන් නිවැරදි බව තහවුරු කරගත් මතවාදයන් ගෙන් බැහැරව නොයමින්, එය යථාර්ථයක් කරගැනීම උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක්.
මංගල, මේ රටේ සියලු පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකූවෙක්. සිංහල දෙමළ මුස්ලිම් හෝ අන්‍ය ආගමික හෝ වෙනයම් වෙනස් අනන්‍යතාවයන් හෝ නොසලකා සියලූ ජන කොටස් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් මතධාරියකු ලෙස සිය දේශපාලනය පෙරට ගත් දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකාව බරපතල, සමාජ දේශපාලන ආර්ථික අර්බුදයකට ගොදුරු වෙමින් සිටින බව ඔහු කාටත් කලින් අවබෝධ කර ගත්තා. නමුත් ඒ තැනට රට වැටෙන්න ඉඩ නොදී රැක ගැනීම වෙනුවෙන් ඔහු සිය අවසන් කාලයේ දී පෙරළිකාර තීන්දුවක් අරගෙන වැඩ කළා.
මධ්යස්ථතාවෙහි වේදිකාව
ඔහු ජීවත්ව සිටි අවසන් වසර කිහිපය තුළ, ඔහු ඉදිරිපත් කළ අදහස් තමන්ගේ අතීත දේශපාලනය සම්බන්ධයෙන් සිදු කළ ස්වයං විවේචනයක් ලෙස සලකන්න පුළුවන්. මෙතනදී පරම්පරා ගනනාවක් තිස්සේ අපේ ආකල්ප ගොඩ නැගීමට ඉවහල් වෙලා තිබුණු ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිළිබිඹු කිරීමට දේශප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීමට මංගලට අවශ්‍ය වුණා.
රට නැවත ගොඩනැගීමේ අරමුණින් යුතුව ‘සැබෑ දේශප්‍රේමියෝ‘ මතවාදය හරහා මංගල, රැඩිකල් මැද මාවතක් යෝජනා කර සිටියා. ඒකාධිපතිවාදය, වර්ගවාදය යනාදි අනෙකුත් සියලූ ආකාරයේ අන්තවාදිත්වයට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට මෙරට නිහඬ බහුතරයක් වු ජනතාවට ඔහු ආරාධනා කර සිටියා. ඒ වෙනුවෙන් ‘සැබෑ දේශප්‍රේමියෝ‘ මධ්‍යස්ථතාවයෙහි වේදිකාවක් කළා.
පෞරුෂයකින් යුතු පුරවැසියන් තැනීම
අනාගතයේ රට බාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් හැදුවා. ඒ අනුව ආරම්භ කළ ‘ෆීඩම් හබ්‘‘ ව්‍යාපෘතිය මංගල දෙදහස් විසි එකේ අගෝස්තු මාසයේ දී කොවිඞ් තත්ත්ව හමුවේ අකාලයේ අප හැර යාමට මාසයකට පෙර දියත් කර අවසන් ව්‍යාපෘතියයි. ලංකාවේ බාල හා තරුණ පරපුර අදීන පෞරුෂයකින් යුතු පුරවැසියන් ලෙස ගොඩ නැගීම මංගල සමරවීරගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වුණා.
පාසල් දරුවන් තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, සිල්වත් පැවිද්දන් හා වැඩිහිටියන් හැර කිසිවකු ඉදිරියේ දණින් වැටිය යුතු නොවන බවත්, විශේෂයෙන්ම දේශපාලනඥයින් ඉදිරියේ දණ නොනැමිය යුතු බවත් අවධාරණය කරේ ඒ නිසා.
අනාගත ශ්‍රී ලංකාවේ හැඩ රුව
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව වන්නේ බුදුරජාණන් වහන්සේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම් පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ නිර්මාණය කිරීම බව මංගලගේ අදහස වුණා.
මංගල යෝජනා කළ මැද මාවත නැතහොත් රැඩිකල් මැද මාවත, තුළ සාධාරණ, නිදහස්, හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින ප්‍රධාන කුලුණු තුන ලෙස ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව හා තිරසාර සංවර්ධනය යන මූලධර්ම මත පදනම් වුණා.
ඔහුගේ නව දේශපාලන ගමන වැටී තිබුණේ මේ හරහා. අද මේ රට ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක නැතිනම් පසුගිය අරගල සමයේ මේ රටේ තරුණ තරුණියන් බලාපොරොත්තු වූ අනාගත ශ්‍රී ලංකාවේ හැඩ රුව ගොඩ නැගීමේ ප්‍රධාන කුලුණු වන්නේ ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව හා තිරසාර සංවර්ධනයයි. එය සාක්ෂාත් කර ගන්නා දේශපාලනයක් රට ඉල්ලා සිටිනවා. මංගල නැති අඩුව අපිට මේ මොහොතේ වඩාත් දැනෙන්නේ මේ නිසා කියලා හිතනවා.
මංගල පැතු ශ්‍රී ලංකාව
මංගල වරක් මෙහෙම කිව්වා,
‘අපගේ බිය හා පූර්ව නිගමන මත පදනම්ව අපි අපේ රට වෙනුවෙන් නව අනාගතයක් නිශ්චය කරන්නෙමු ද? එසේත් නැතිනම් සියල්ලන්ම වෙනුවෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ බලාපොරොත්තු හා අභිලාෂයන් මත පදනම්ව අපගේ අනාගතය තීරණය කරන්නෙමුද?’
අපිට තවමත් අවස්ථාව තියෙනවා. මංගල පැතු ශ්‍රී ලංකාව ගොඩ නැංවීමට. සැබෑ දේශප්‍රෙමියෝ විදිහට අපිට එකතු වෙන්න පුළුවන්. මේ ගැන අපි කතා කරමු. මේ වැඩසටහනේ දී මංගල සමග සමීපව වැඩ කළ මිතුරන් තිදෙනෙකු මේ සාකච්ඡා ඉදිරියට ගෙන යයි. අපි ඒකට එකතු වෙමු.”